හොඳින් අධ්‍යාපනය හදාරා අනාගත දේශපාලන නායකත්වයට පැමිණ රට ගොඩනැගීමේ කොටස්කරුවන් වීමට පාසැල් කාලය තුළම අධිෂ්ඨාන කරගත යුතු බව අගාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍යාවන් අමතමින් පැවසුවාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025.01.28 දින පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
දේශපාලනයට සම්බන්ධවීමට වත්මන් තරුණ පරපුරේ යම් අකමැත්තක් නිර්මාණය වී ඇති බවත් යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ අනාගත දේශපාලන නායකත්වයට පැමිණීමට දරුවන්ට යෝජනා කරන බවත් ඇය පෙන්වා දුන්නාය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පුරවැසි සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. එසේම රජය විසින් හදුන්වා දුන් ‘Clean Sri Lanka’ වැඩසටහන හරහා අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර ඔස්සේ වඩාත් විධිමත් රටක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. තවද අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න විමසීමට ද ශිෂ්‍යාවන්ට මෙහිදී අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පැවසුවේ කුඩා කළ සිටම විනයක් සහිත පුරවැසියෙක් වීමට දරුවන් අදිනටන් කරගත යුතු බවයි. එසේම උසස් මනුෂ්‍ය ගුණාංග සහ වටිනාකම් පාසැල් අවධියේ සිටම පුරුදු පුහුණු වීම යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ මුලු ලෝකයේම පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට හැකිවූ බවයි. එසේම වත්මන් අග්‍රාමාත්‍ය තනතුර දරන්නේ ද කාන්තාවක් වන බැවින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම ශිෂ්‍යාවන්ට අනාගත නායිකාවන් බවට පත්වීමට හැකියාව පවතින බවත් ඇය පෙන්වා දුන්නාය. පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබීම අනාගත කාන්තා නායිකාවන්ට වඩාත් සුබදායි පනිවුඩයක් බවත් මහලේකම්වරිය පැවසීය. තවද නායකත්ව ගුණාංග වැඩිදියුණු කරගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතා වටිනා පන්නරයක් ලබා දෙන බව සඳහන් කළ ඇය පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව මූලික හැදින්වීමක් ද සිදු කළාය.
එසේම මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන් කුමාරසිංහ මහතා ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳව මූලික හැදින්වීමක් සිදු කළ අතර වඩාත් යහපත් රටක් බිහිකිරීම උදෙසා දරු දැරියන්ගේ වගකීම පිළිබඳව විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළේය.
තවද පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැ.බ) එම්. ජයලත් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශිෂ්‍යාවන් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෞරුෂත්ව ගුණාංග මෙන්ම නායකත්ව ලක්ෂණ වැඩිදියුණු කර ගනිමින් අනාගත නායක නායිකාවන් වීමට ශිෂ්‍ය පාර්ලිමේන්තු වැනි වැඩසටහන් ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන බවයි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේදා ජයවීර මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙරට පාර්ලිමේන්තුව ලෙස දශක ගණනක් පැවති මෙවැනි ඓතිහාසික ස්ථානයක සිට දරුවන්ට මෙම අත්දැකීම ලැබීම ඉතා වටිනා අවස්ථාවක් බවයි.
අනතුරුව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයන් විසින් “වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට පුරවැසියන්ගේ වගකීම” යන මැයෙන් විවාදයක්ද පවත්වන ලදී.
එසේම මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන්ට ගරු අග්‍රාමාත්‍යවරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවිය.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ කළමනාකාරිණි බුද්ධිනි රාමනායක ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.































