• දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු සැසිවාරය සඳහා පැවති ප්‍රථම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, පක්ෂ විපක්‍ෂ මන්ත්‍රීවරයන් 60 ක සහ නිලධාරින් 40 ක පිරිසකගේ සහභාගිත්වයෙන්…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරිණි.
මෙසේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරුනේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 2025.01.24 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු සැසිවාරයේ ප්‍රථම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ අනුව, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 60 ක සහ අදාළ රාජ්‍ය ආයතනයන්හී නිලධාරින් 40 ක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මේ අනුව ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එක් අනුකමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් විතාන, දිනිදු සමන් සහ දේවානන්ද සුරවීර යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කර තිබේ.
ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා තවත් අනුකමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතීත්වයෙන් සහ සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක යන ගරු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කිරීමට තීරණය වී ඇත.
එසේම ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය හරහා ආදායම් ජනනය කිරීම අරමුණු කරගනිමින් අනෙක් අනුකමිටුව ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සභාපතීතීත්වයෙන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත්කර තිබේ.
පාර්ලිමේන්තු සභා ගර්භයේ කෙසේ වුව ද, මෙම කාරක සභාවන් තුළ පාට පක්ෂ භේද නොමැති බවත්, සියලු මන්ත්‍රීවරයන්ගේ සහයෝගය ඇතිව පවත්නා ගැටලු හඳුනා ගැනීමත්, ඒ වෙනුවෙන් විසදුම් සෙවීමත් එක්ව සිදු කළ යුතු බව මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය. ඒ අනුව, ඊට අදාළව කටයුතු කළ හැකි, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියන, අනු කමිටු ත්‍රිත්වයක් පත් කිරීමට එතුමා මෙහිදී යෝජනා කරනු ලැබූ අතර, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු කේෂ්ත්‍රයේ නියුතු සේවකයන්ගේ අයතීන්, ගැටලු සහ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතු බවට මෙහිදී අවධාරණය කරනු ලැබීය.
මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පවත්නා පුරප්පාඩු ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් කරුණු කාරණා මතු කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රයෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තුළ සලකා බැලිණි.
එමෙන්ම, අබාධිත පුද්ගලයන් සඳහා පවත්නා පහසුකම් වලට අමතරව තවදුරටත් පහසුකම් සැලසීමට ඉදිරියේදී කටයුතු සලසන බවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් පැවසුහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ද සහභාගී වූ අතර එහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සහ එහි කාර්යභාරය පිළිබදව පැමිණ සිටි පිරිසට අවබෝධයක් ලබා දීමද සිදු විය.