ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ගරු ජූලි චන්ග් මහත්මිය පසුගිය 24 වන දා පාර්ලිමේන්තුවේ දී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද ද එක්ව සිටියාය.
මෙම හමුවේදී පළමුව ඇමෙරිකානු තානාපතිවරිය විසින් ගරු කථානායකතුමාට සිය සුබ පැතුම් එක් කළාය. එමෙන්ම ගරු කථානායකතුමා ද එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමුවේය.
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පලකළ ඇය, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය
COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ගරු කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා ඇමරිකානු රජය විසින් ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හුවමාරුකරගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳව ඇමරිකානු තානාපතිවරිය සිහිපත් කළාය. දෙරට අතර සහයෝගීතාව හරහා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැනි මුලපිරීම් ඔස්සේ විනිවිදභාවය, වගවීම සහ පාලනය තුළ පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරීමට ඇති හැකියාව ද ඇය අවධාරණය කළාය. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයේ කැපී පෙනෙන වර්ධනය පිළිබඳව ඇමෙරිකානු තානාපතිවරිය සිය ප්‍රශංසාව පළකළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවද ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය .
දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරත් වර්ධනය කරගැනීම, ආයතනික හැකියාවන් වැඩි දියුණු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.