පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.01.24 දින පැවැත්විණි.

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ යෝජනා මෙන්ම නව යෝජනා ඇතුළත් කරමින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

කාන්තාව සඳහා සුරක්ෂිත වැඩබිමක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සංසදයේ සභාපතිවරිය විසින් මෙහිදී අවධාරණය කරන ලදී. කාන්තාව සවිබල ගැන්වීමට නම් කාන්තාවට ගැටලුවලින් තොරව ශ්‍රම බලකායට සම්බන්ධවිය හැකිවන පරිදි සමාජ සුරක්ෂිතතාව ඇතිවිය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

ඇතැම් සේවා ස්ථානවල කාන්තාවන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩිවුව ද ආයතනික වශයෙන් උපරිම ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ළඟා කර ගැනීම සඳහා කාන්තාවන් වෙනුවෙන් ආයතනික මට්ටමින් ලබාදිය යුතු පහසුකම් සැපයීම ප්‍රමාණවත් නොවන බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය. ඒ අනුව සේවා ස්ථානවල කාන්තාවන්ට නිසි නියෝජනයක් හිමිවන පරිසරයක් ඇති කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.

දරුවන් රැකබලාගැනීමේ සහ පෝෂණය කිරීමේ වගකීම හේතුවෙන් කාන්තාවට ශ්‍රම බලකායට සම්බන්ධවීමට ඇති ගැටලුව පිළිබඳව ද සංසදයේ අවධානය යොමු විය. මේ හේතුවෙන් ඉහළම අධ්‍යාපනයක් ලැබූ කාන්තාවට පවා ශ්‍රම බලකායට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි වන බව සාකච්ඡා විය.

වතුකරයේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව ද සාකච්ඡා වූ අතර ඔවුන්ගේ අයිතීන් සුරැකෙන පරිදි ප්‍රතිපත්තිමය සහ නෛතික වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමුවිය. මීට අමතරව රැකියාව නිසා නිවෙස් කරා පැමිණීමට නොහැකි කාන්තාවන්ට ඡන්ද අයිතිය තහවුරු කිරීමේ අවශ්‍යතාවය, කාන්තාවගේ ගෘහස්ත ශ්‍රමය සමාජ ශ්‍රමය බවට පත්කිරීමට කිරීම සදහා වැඩකිරීමේ කාලසීමාව ලිහිල් කිරීම ඇතුළු යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම ගැටලුවලට විසදුම් සෙවීම සඳහා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැදිහත්වීමට අපේක්ෂා කරන බව සංසදයේ සභාපතිවරිය අවධාරණය කළාය.

තවද මාර්තු 8 වැනි දින යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය වන හේමාලි වීරසේකර, සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න