• මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාට
• ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට.
• ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය, ගරු අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාට.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.
එහිදී ඵම කාරක සභාවේ සභාපති ලෙස, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කරන ලදී. එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා තේරී පත් වූ බව ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඒ මහතා විසින් රැස්වීමේ මුලසුන දරමින් කාරක සභාවේ සභාපති ලෙස තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලුම සාමාජිකයින්ට ස්තූතිය පුද කළේය.
ඒ අනුව ඉදිරියේදී පෙත්සම්කරුවන්ට සහනයක් ලබා දීම සඳහා පෙත්සම් විමර්ශන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව කාරක සභාවේ වැඩි අවධනය යොමුවිය.
මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය 24 වනදා තේරී පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සදහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ තෝරා පත්කරගන්නා ලදී.
සභාපතිධුරය සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදී.
මෙහිදී සභාව අමතමින් අභිනව සභාපතිවරයා, කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සියලු සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහය අපේක්ෂා කරන බවත් පැවසුවේය. එසේම ජනතා අභිලාශයන් ඉටුකිරීමට කාරක සභාව මගින් සිදු කළ හැකි උපරිමය සිදු කරන බවද සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් අදස් දක්වමින් පැවසුවේය.
මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වැනිදා පළමු වරට පාර්ලිමේතුවේදී රැස්විය. එහිදී ගරු අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.