උක්ත ශීර්ෂයෙන් යුතු ප්‍රවෘත්තියක් සමන්තී වීරසේකර විසින් වාර්තා කර ඇත්තේ 2025. 01.25 දිනැති දිවයින ඉරිදා පුවත්පතේ. ඒ මහනුවර මහා රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහගේ කියමනක් ඇසුරෙන්. ඒ පුවත් පත් වාර්තාව දක්වන පරිදි විරුද්ධ දුදරුවන් අතර සම්බන්ධතා හීන වී යාමත්, දරුවන් හුදකලා ලෝකවල තනිවිමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යාමත් ඇතුළු කරුණු රැසක් හේතු වීමෙනි සිසුන් අතර සමලිංගික සම්බන්ධතා වැඩිව ඇත්තේ. .තවද ඒ ප්‍රවෘත්තිය තුල දක්වන්නේ පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සදහා යොමුවීම සිඝ්‍රයෙන් ඉහළ යාම කෙරෙහි ද හේතු වී ඇත්තේ මෙවැනි කරුණු බවයි. මේ මුල් පිටේ පළවෙන මේ පුවත ඉතාමත් අවිද්‍යාත්මක තොරතුරකි වෛද්‍යවරයාගේ පැත්තෙන් ගත්තත් ජනමාධ්‍යවේදියාගේ පැත්තෙන් ගත්තත් කොයි අතින් ( මානව ලිංගිකත්වය පැත්තෙන් ) ගත්තත්. එසේ කියන්නේ ඇයි මා ?

ඒ, ප්‍රධාන සාධක හෝ තර්කන දෙකක් මත උක්ත ප්‍රවෘත්තිය දෝෂ සහගත බව මම දක්වමි. පළමු වැන්න වෛද්‍යවරයා මෙකි හෝ මෙබදු කාරණාවක් ජන මාධ්‍ය වෙත හෝ වෙනත් තැනක ප්‍රකාශ කරන්න ඔහුට තිබෙන සදාචාරාත්මක වෘත්තිමය හෝ විෂය බද්ධ විද්‍යාත්මක අයිතිය ය. එනම් මෑත කාලයේ . උක්ත සිසු සමලිංගික සම්බන්ධතා වැඩිවීම අරභයා ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණය හෝ වෙනත් අධ්‍යයනයක් තිබේද ? එසේ නම් ඒ කවරක්ද ? කලින් වසර හෝ වසර පහකින් හෝ දහයකින් හෝ පසු වත්මන් තත්වය පිළිබද සංසන්දනාත්මක ව සිදුකර ඇති පර්යේෂණය හෝ සමීක්ෂණය කුමක්ද? ඒ කාගේ මුලිකත්වයෙන් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකද?

මෙහි පැනනගින අනෙක් කාරණය වන්නේ වෛද්‍යවරයෙකුට රටේ මිනිසුන්ගේ හෝ සතුන්ගේ පෞද්ගලිකත්වය සෞඛ්‍යය ට අදාළ සංවේදී කරුණු ජන මාධ්‍යයකින් හෝ වෙනත් ප්‍රසිද්ධ මතවේදිකාවක එළිපිට අනාවරණය කරන්නේ කවර වෘත්තීය සදාචාරාත්මක මුලධර්මයක් මතද යන්නයි. අඩුම ඒ උක්ත කාරණය පිළිබද පිළිගත් සදාචාරාත්මක නිර්ණායක මත පිහිටා සිදු කර ඇති විද්‍යාත්මක ගවේෂණයක් අධ්‍යයනයක් ඇසුරෙන් නම් වෛද්‍යවරයෙකුට හෝ කවරකුට හෝ එය උපුටා දක්වමින් හෝ මේ කතාව සිදු කල හැකිව තිබුණි.

දෙවැන්න වන්නේ විද්‍යාත්මක වෘත්තීය ජනමාධ්‍යවේදයේ සදාචාරාත්මක පැතිකඩ යි. එනම් වත්මන් ලෝකයේ ජන මාධ්‍ය හෝ පර්යේෂණ අධ්‍යයන සරසවි තුල හෝ සම-ලිංගික (homo-sexual ) යන වදන භාවිත නොකරයි. එම වදන මගින් එකී මිනිසුන්ගේ උත්පත්තියෙන් ලැබෙන ජාන ගත ලිංගිකත්වය, ලිංගික මානව අයිතීන් සහ පුරවැසිභාවය (sexuality, sexual rights and sexual citizenship ) ට කරන බරපතල හානියකි, නිගාවකි, පහර දීමකි සිදුකර ඇත්තේ. ඒ වෙනුවට අද භාවිත කරන්නේ සම-කාමී ( same-sexual ) යන පර්යාය පදයයි. තවද ජන මාධ්‍ය තුළ විෂම ලිංගික ( ස්ත්‍රී -පුරුෂ) අයිතීන් පමණක් නොව විෂම ලිංගික නොවන මානව සත්තව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද නුතන විද්‍යාත්මක සන්නිවේදන අධ්‍යාපන ලෝකයේ අන්තර්ග්‍රහණයයි. මිනිසුන් ලිංගිකත්වය හෝ වෙනත් නිර්ණායකයක් මත වෙනස් අගතියකට ජන මාධ්‍යවේදය තුල පාත්‍ර නොකරයි. රටක විවිධ ලිංගික අයිතිවාසිකම් ඇති පුරවැසියන් නොසලකා හැරීමකි උක්ත මිත්‍යා ප්‍රවෘත්තියෙන් සිදුව ඇත්තේ.

උක්ත ප්‍රකාශය මා තර්ක කරන්නේ අතිශය අවිද්‍යාත්මක පට්ටපල් බොරුවක් මිත්‍යාවක් ලෙසයි. ඒ ඇයි ? නුතන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලංකාවේ මානසික වෛද්‍ය හා ලිංගික සෞඛ්‍ය ප්‍රතිකාර හා අධ්‍යාපනය තුල සමකාමී සම්බන්ධතා පිළිබද ඇති විද්‍යාත්මක දැනුම සහ අවබෝධය නොතකා කරනු ලබන පටු අගතිගාමී ප්‍රකාශයකි උක්ත ප්‍රවෘත්තිය.අතිශය සාවද්‍ය අධිපතිවාදී යටත්විජිත දුෂිත මිත්‍යා ගතානුගතික අවිද්‍යාව තුල තවමත් සිරව ඇති ලංකාවේ ජන මාධ්‍ය, අධ්‍යාපනය සහ වෛද්‍ය වෘත්තීය පිළිබද ව ද කියවෙන මනා ඇඟවුමකි උක්ත ව්‍යාජ මිත්‍යා ප්‍රවෘත්තිය. ඒ මන්ද මා එසේ තර්ක කරන්නේ?

ඇමරිකාවේ හාවඩ් සරසවියේ ඇතුළු ලෝකයේ සමකාමී LGBTIQ+ ප්‍රජාවගේ ලිංගික සෞඛ්‍ය පිළිබද පිළිගත් මතය වන්නේ මිනිසුන්ගේ සමකාමී ලිංගික ආශා ,වටිනාකම් සහ චර්යා වනාහි, විෂම ලිංගික සහ පුර්ණ සමකාමී මිනිසුන් යන ප්‍රතිවිරුද්ධ මිනිසුන් අතර සිටින මිනිස් කාණ්ඩය තුල පවතින අඛණ්ධ පරාසයක දිව යන නියත නොවන විවිධත්ව පරාසයක දිවයන ලිංගික චර්යාවක් බවයි. මේ බව ලොවට ප්‍රථම වරට හෙළිකළේ ඇමරිකාවේ බ්ලුමින්ටන් හි ඉන්දියානා සරසවියේ විසු සත්ත්ව විද්‍යාව , ලිංගික විද්‍යාව සහ කීට විද්‍යාව පිළිබද මහාචාර්‍ය ඇල්ෆ්‍රඩ් කින්සි විසිනි ( Alfred Charles Kinsey) . ඒ සිය මානව පිරිමින්ගේ ලිංගික චර්යාව සහ මානව ගැහැණුන්ගේ ලිංගික චර්යාව යන ලෝ ප්‍රකට අතිශය වැදගත් පුළුල් විශාල අධ්‍යයන දෙක පදනම් කරගෙනය ( Sexual Behavior in the Human Male (1948) and Sexual Behavior in the Human Female (1953) ). ඒ කෙසේද යත් විශාල පිරිමි සහ ගැහැණු නියැදි දෙකක් අරගෙන ඉන්දියානා සරසවියේ ලිංගිකත්වය, ස්ත්‍රී- පුරුෂ සමාහ භාවය සහ ප්‍රජනනය පිළිබද කින්සි පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කරන ලද පර්යේෂණයක් ඇසුරෙනි මිනිසුන් හුදෙක් තනිකරම විෂම ලිංගික හෝ සමකාමී පිරිසක් ලෙස දේශපාලන අවශ්‍යතා මත ලේබල් කල නොහැක්කේ යන්නයි. මෑත කාලයේ මේ මතයම නැවත වරක් හෙළි කලේ කොනෙල් සරසවියේ සංවර්ධන මනෝවිද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්‍ය රිච් සවින් විලියම්ස් (Ritch Savin-Williams ) විසින්. ඒ හෙතෙම කාලාන්තරක් තිස්සේ සිදුකරන ලද සායනික මනෝවිද්‍යා ආනුභුතික දත්ත පදනම් කර ගත් පර්යේෂණයක් ඇසුරෙනි.

ලංකාවේ සමකාමී චර්යා වසර 500 කට අධික කාලයක් තුල බටහිර යුරෝපිය වැඩවසම් යටත්විජිත දණ්ඩ නීති සංග්‍රහය ට කාවද්දන ලද ඉංග්‍රීසි වික්ටෝරියා ව්‍යාජ සදාචාර නීති අනුව දරුවන් වැදිය නොහැකි සියලු ලිංගික ආශා සහ රෝමාන්තික චර්යා අශිෂ්ඨ දඩුවම් ලැබිය හැකි අපරාධ ක්‍රියාවක් ලෙස බලෙන් යටත්විජිත රටවලට පටවනු ලැබ තිබේ. නමුත් ඒ පරණ නීති අප තවදුරටත් කර ගසා ගෙන යන අතර ඉංග්‍රීසි කාරයා ඒ කිසිවක් භාර නොගෙන වත්මන් විද්‍යාත්මක දත්ත මත මිනිස් චර්යාවේ හොද නරක සදාචාරය තීරණය කරයි.

ඇමරිකානු තාක්ෂණ විද්‍යා මහාචාර්‍ය මාර්ක් ෆ්රෙන්ස්කි (Marc Prensky) දක්වන ආකාරයට 1990න් පසු උපන් මේ ලෝකයේ මිනිසුන් හදුන්වන්නේ ඩිජිටල් උරුම පරම්පරාවක් (digital natives ) ලෙසයි. නෙදර්ලන්තයේ ට්වෙන්ටේ සරසවියේ සන්නිවේදන විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්‍ය ජැන් වැන්
ඩිජෙක් ( Jan van Dijk) සහ ඇමරිකාවේ කැලිෆෝර්නියා සරසවියේ අනන්බර්ග් සන්නිවේදන පාසලේ මහාචාර්‍ය මැනුවෙල් කස්ටෙල්ස් (Manuel Castells ) දක්වන ජාල සමාජය (Network society ) නමැති අන්තර්ජාල ගෝලීය සන්නිවේදන ජාල කරණය සහ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහ ඇමරිකාවේ කෙලිෆොර්නියා සරසවියේ අනන්බර්ග් සන්නිවේදන පාසලේ මහාචාර්‍ය හෙන්ඩ්රි ජෙන්කින් (Henry Jenkins ) දක්වන සහභාගිත්ව සංස්කෘතිය (participatory culture ) අනුව මා මහා බ්‍රිතාන්‍යයේ නිව්කාසල් සරසවියේ 2024 දී සිදුකරන ලද මාගේ ආචාර්‍ය උපාධි පර්යේෂණයේ දී හෙළිදරව් කරේ නුතන ජාල සන්නිවේදන ගෝලීය රූපාන්තරණය තුල ගෝලීය දකුණේ තවදුරටත් ව්‍යාජ යටත්විජිත වැඩවසම් ආධිපත්‍යයික අවිද්‍යාත්මක ව්‍යාජ සදාචාර වටිනාකම් දෙදරා යන බවයි. ඒ අනුව අපරටවල පමණක් නොව ලෝකයේ මේ මොහොතේ නව මානව විද්‍යාත්මක ප්‍රකරණයක් ( context) ක්‍රියාත්මක වන බවයි මා තර්ක කරන්නේ. එහිදී තවදුරටත් වැඩවසම් බෙදීම් සහ එකී ලිංගික ආධිපත්‍යයික වටිනාකම් දෙදරා යමින් මෙතෙක් හොරෙන් සගවාගෙන ලෝකෙන් වසන් වී රහසිගත ව සිදුකල සියලු මානව ලිංගික නිදහස් ක්‍රියාවන් අන්තර්ජාල දිජිටල ජාල මාධ්‍යය සමාජයක එළිපිට ක්‍රියාත්මක වේ. එමනිසා උක්ත කාරණය දක්වනවා නම් දැක්විය හැක්කේ වැඩිපුර හෙළිදරව් වීමක් මිස සමකාමී ලිංගික සම්බන්ධතා වල වැඩිවීමක් වශයෙන් නොවේ. වැඩිවීමක් දක්වන්නේ නම් උක්ත ඔවුන් දක්වන අනෙක් කාරණා සාධක අනුව ඒවායෙහි සහසම්බන්ධතාව දක්වන පළල් අධ්‍යයනයක් සිදු කල යුතුව ඇත.

මිනිසුන් විශේෂයෙන් නුතන ඩිජිටල් ජානපදිකයින් කිසිදු භියක් ලැජ්ජාවක් නැතිව රිසි සේ තමන්ට අවශ්‍ය ලිංගික ප්‍රේම අත්හදා බැලීම්,රසාස්වාද, විශ්‍රන්ති, රිසි සේ විදින ආකාරයයි වත්මන් ඩිජිටල් තරුණ ජානපදිකයින් මෙන්ම අනෙක් වැඩිහිටියන්ගේ ලිංගික චර්යාවන්ගෙන් හෙළිදරව් වන්නේ. ඒ හුදෙක් පුර්ණ සමකාමී ලිංගික අනන්‍යතා ඇති අය පමණක් නොවේ. සියලු මිනිසුන් මෙතක් තමන් සිර කල කායික මානසික නිදහස් අදහස් ආශා සියල්ල කණ්ඩායම් වංශයෙන් ෆේස්බුක් ආදී සමාජීය ජාල සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ෆැන්ටසි ක්ලබ් සහ ලිංගික ආස්වාද විවිධතා ජන සමාජ නිර්මාණය කරගනිමින් පවතී.

තමන්ගේ ජානගත නිසඟ ලිංගික සහජාසයන් ඩිජිටල් අතත්‍ය සමාජයේ සිට තමන් ජීවත්වෙන මහපොළොවේ සැබෑ යතාර්ථයක් බවට පත් කරගන්නා බවයි අද ලංකාවේ පමණක් නොව ලෝකයේ නන් දෙසින් අනාවරණය වන්නේ. මහාබ්‍රිතාන්‍යයේ නිව්කාසල් සරසවියේ සිටි, මානව ලිංගික පුරවැසිභාවය පිළිබද ලොව ප්‍රකට සමාජ විද්‍යා සම්මානිත මහාචාර්‍ය ඩයනා රිචර්ඩ්සන් ( Diane Richardson) දක්වන්නේ නුතන මිනිසා තවදුරටත් වහල් යටත්විජිත ආධිපත්‍යයික හෙජමොනික මිත්‍යා මත තමන්ගේ ලිංගික අයිතීන් පීඩනය ට පත් කරගනිමින් නොසිටින මොහොතකි මේ. වත්මන් ගෝලීය සන්නිවේදන දැනුම ඔස්සේ ජාලගත ව සංසරණය වන නව විද්‍යාත්මක විෂයබද්ධ දැනුම් සහ ලෝකයේ මිනිසුන් මේ නව සමාජයේ සැබවින්ම ජීවත්වෙන ආකාරය අනුව ක්‍රියාකාරි මිනිසුන් තමන්ගේ සියලු අවශ්‍යතා එළිපිට ක්‍රියාත්මක කරන්නේය. ඒ, එතෙක් මෙතෙක් පැවති සියලු වැඩවසම් ව්‍යාජ යටත්විජිත ආයතනික වෛද්‍ය, නීති, අධ්‍යාපන, සදාචාර, සෞඛ්‍ය ව්‍යාජ මිත්‍යා සංස්කෘතික ( මානව චර්යා) වටිනාකම් ඔවුන්ගේ පරණ වැඩිමහල් පරම්පරාව ඉදිරියේ ම කුඩු පට්ටම් ක‍ර ගනිමිනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න