• එරාවුර් විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියක් සඳහා විධිවිධාන සැලසීමට අදාළ නිවේදනයට ද කාරක සභාවේදී අනුමතිය
• සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක්…
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.
2018 වසරේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමඟ එළැඹි නිදහස් වෙළඳ ගිවිසුම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇත. මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනනයනයේදී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුවේ. කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීහු දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිළි කළහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදුසහන සැලසීමට අදාළ නිවේදනය ද කාරක සභාවේදී නැවත සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය. 2022 වසරේ එළැඹි ගිවිසුමකට අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ මෙම නිවේදනය පළකර තිබිණි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයෙකු විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම කාරක සභාවට පැහැදිළි කළ අතර රෙදිපිළි නිෂ්පාදනයට අදාළ රෙදිපිළි වර්ණ ගැන්වීම, රෙදි විවීම ආදි කාර්යයන් එකම භූමියක සිදුවේ. ඇ.ඩො මිලියන 35ක මෙම ව්‍යාපෘතියෙන් විදේශ විනිමය වියදම් අඩු කිරීම අරමුණු කර ගෙන ඇති අතර දේශීය රැකියා අවස්ථා 490ක් පමණ ඇතිවේ.
ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට සමගාමීව තරගකාරී වෙළඳපල අත්පත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් බව පෙන්වා දුන් කාරක සභාව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් සමානාත්මතාවයෙන් යුතු බදු ප්‍රතිපත්පතියක අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී.
මේ අතර ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවූ අතර සහල් ආනයන බලපත්‍ර පාලනය තාවකාලිකව ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබිණි. 2025 ජනවාරි 10 දක්වා සහල් ආනයනය සඳහා අවස්ථාව හිමිවූ බවත් මෙම කාලය තුළ සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් රජයට හිමිවූ බවත් ඔවහු පෙන්වා දුන්හ. තවද සහල් හිඟය සඳහා හේතුවන කාරණා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්ව සහල් නිෂ්පාදනය සහ තොග පවත්වා ගැනීම ඇතුළු අදාළ නිවැරදි දත්ත පවත්වා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
එසේම මීට පෙර කාරක සභාවේදී සළකා බැලුණු ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි නැවත සලකා බලා අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුවිය. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය සඳහා මෙම රෙගුලාසි හදුන්වා දී තිබිණි. එසේම මාස තුනක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කොට ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනයට අදාළ රෙගුලාසිවල ගැටලු පවතීනම් නැවත සමාලෝචනය කරන ලෙස ද දැනුම් දුන්නේය.
මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග අබේසිංහ යන මහත්වරුන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.