ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු ඉසොමාටා අකියෝ (Isomata Akio) මහතා පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේ දී කථානායකවරයා ඇතුළු රජය වෙත ජපාන තානාපතිවරයා සිය සුබ පැතුම් එක් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ ජපාන තානාපතිවරයා ඉදිරියටද එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවේය.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අතර බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද ජපාන තානාපතිවරයා පැවසුවේය.
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා මෙරට ජනතාව වෙත ජපන් රජය විසින් ලබාදී ඇති ව්‍යාපෘති පිළිබඳව සිහිපත් කරමින් ඒ වෙනුවෙන් සිය ස්තුතිය ජපානය වෙත පළකළේය. තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා – ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජපානයේ සහාය අපේක්ෂා කරන බවද පැවසුවේ ය.
මෙම හමුවේදී දුෂණය පිටුදැකීමට රජය ගෙනයන ක්‍රියාමාර්ග, ජාතික සංහිඳියාව ආදී කරුණු පිළිබඳවද ඇගයීමට ලක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න