“2025 කතරගම පාද යාත්‍රාව” පරිසර හිතකාමී හරිත පා ගමනට 30 000 ක බැතිමතුන් එක්වනු ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන් වෙත පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට උපදෙස් දී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා මහතා පැවසීය.

ඊයේ (18)  කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

ඒ අනුව කතරගම පූජා භුමිය වන්දනා කිරීමට මෙම වසරේ පාද යාත්‍රාවෙන් 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර පාද යාත්‍රාව 2025.06.20 දින ආරම්භ වීමට නියමිත බව ද ඒ මහතා කීය.  

යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙස ද ඒ මහතා බැතිමතුනගෙන් ඉල්ලා සිටියේ ය.

පසුගිය වසරවල දී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසල හේතුවෙන් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ අතර කැලි කසල විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානියක් සිදු වී තිබු නිසා මෙම තීරණය ගෙන ඇති බව ද ඒ මහතා කීය.

ඒ අනුව මෙවර පාද යාත්‍රාවට සහභාගී වන බැතිමතුන් සඳහා පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටියේ ය.

පාද යාත්‍රාවෙන් කුමන සහ යාල වනෝද්‍යාන තුළින් ගමන් ගන්නා බැතිමතුන් සඳහා ආරක්ෂාව සැපයීමට අවශ්‍ය කටයුතු සලසන බවත්, වනෝද්‍යාන සහ වනසතුන් රූගත කිරීම් සහ ඩ්‍රෝන භාවිතයෙන් සිදු කරන පටිගත කිරීම් සිදු කිරීමට අවකාශයක් නොමැති බවත්, සාම්ප්‍රදායික නොවන ලෙස මෙම පාද යාත්‍රාවේ දී ගමන් කිරීම සිදු නො කරන ලෙසට මෙහි දී අවධාරණය කළ අතර වනෝද්‍යාන සහ සතුන්ට යම් බාධාකාරී හැසිරීම් සිදු වුව හොත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව නීතීමය ක්‍රියා මාර් ග  ගන්නා බව ද ඒ මහතා පැවසීය.

අමාත්‍ය උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්, වන සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ සහ පරිසර නියෝජ්‍ය  සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සුබසිංහ යන පිරිස ද එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න