ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සත්කාර සේවා රාමුවට අනුව හදිසි සත්කාර යනු විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා වූ මානව අයිතියේ මූලික කරුණක් ලෙස පෙන්වා දි ඇති බවත්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති සමඟින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කරන බැවින් එම පද්ධතීන් ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCEP) 2024-2025 වසර සදහා නව සභාපතිවරයා පත්කිරීම වෙනුවෙන් වු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම උත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී ශ්‍රි ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2024-2025 වසර සදහා නව සභාපතිවරයා ලෙස හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍ය ඉණුක විජේගුණවර්ධන මහතා පත්විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නව සභාපතිවරයාට සුබ පැතුම් එක් කළ අතර, නව සභාපතිවරයා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර සේවාවන්ට අදාල කටයුතු ප්‍රගමනයට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද මෙහිදී පැවසීය.
සංවර්ධිත රටවල් වසර 50 කට පෙර හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තීරණාත්මක විශේෂත්වයක් ලෙස පිළිගෙන ඇති බවත්, 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබදව විශේෂඥතාවක අවශ්‍යතාවය දැනෙන්නට වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
2016 හදිසි අනතුරු සහ හදිසි සත්කාර සදහා වු ප්‍රතිපත්තිය මගින් වසර තුනක් ඇතුළත සෞඛ්‍ය සේවා ආයතනවලින් 75%ක ක්‍රියාකාරී හදිසි ඒකක පිහිටුවීම අරමුණු කර ඇති බවත්, අවාසනාවකට මෙන්, විවිධ හේතූන් මත කිසිදු අනතුරු සහ හදිසි සත්කාර ඒකකයක් ඊට අදාල මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල වී නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.
COVID-19 වසංගතය ආපදා වලදී සුදානම සහ ඔරොත්තු දීමේ තීරනාත්මක අවශ්‍යතාවය පෙන්නුම් කළ බව ද, එම අවස්ථාවල මෙම ක්ෂේත්‍රයට අදාල වෛද්‍යවරු පෙරමුණ ගෙන කටයුතු කළ බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරවල ආරම්භ කරන ලද ව්‍යාපෘති නිසි ලෙස ඇගයීමට ලක් කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරන බවද එහිදී ඩිජිටල්කරණය, ගිලන්රථ සේවා පුළුල් කිරීම, සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ පුහුණු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රෝහලට ඇතුළත් කරන සෑම රෝගියෙකුටම ඇඳක් මෙන්ම සුදුසු පහසුකම් සහ ගුණාත්මක සෞඛ්‍ය සත්කාරයක් ලබා දෙන බවට සහතික කිරීමට රජය කඩිනමින් කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයහා “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමට හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ඉතා වැදගත් වන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නොමද සහාය ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපති වෛද්‍ය නන්දන කේ ජයතිලක, ලේකම් නන්දරාජ් ප්‍රසන්න යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න