පසුගිය වසර 10 ඇතුළත සිගරට් අලෙවිය 50%ට ආසන්න අගයකින් පහත බැස ඇත.
පුදුමයට කාරණය නම් එම කාලය තුළ සිගරට් අලෙවිය සීඝ්‍ර ලෙස පහළ වැටුනද බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට අයත් ලංකා දුම්කොළ සමාගමේ ලාභය 200% කට වඩා වැඩි අයගකින් අසීමිත ලෙස වර්ධනය වීමයි .
මෙම තත්වය විවෘත වෙළඳපොළ තුළින් දැකිය නොහැකි අසාමාන්‍ය තත්වයකි.
කිසියම් කර්මාන්තයකින් ඔවුන්ගේ අලවිය 50% කින් පමණ පහත වැටෙද්දී ඔවුන්ගේ ලාභය 200%ට වැඩි අගයකින් වැඩිවීම පුදුම සහගතය.
මෙම අසාමාන්‍ය තත්වයට සෘජුව බලපා ඇති ප්රමුඛ සාධකය වන්නේ දුම්වැටි සඳහා විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් නොමැති වීමයි.
විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආර්ථික විශේෂඥයන් ඉල්ලා සිටින්නේ අප රට තුළ සිගරට් සඳහා විද්‍යාත්මක නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයද එය තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක ඇති අවශ්‍යතාවය බොහෝ අවස්ථාවලදී පෙන්වා දී ඇත.
එමෙන්ම IMF එකඟතාවයන් තුළද සිගරට් සහ මද්‍යසාර සදහා නිවැරදි බදු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස රජයට නිර්දේශ කර ඇත.
නමුත් තවමත් එවැනි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වන බව අප දැක නැත.
සිගරට් මිල වැඩිවෙන විට, සිගරට් මිල වැඩි වන්නේ සම්පූර්ණයෙන්ම රජය විසින් පනවන බදු නිසා බව බොහෝ දෙනා තුළ වැරදි අවබෝධයක් ඇත. එයට හේතුව සිගරට් සඳහා අය කරන බදු ප්‍රමාණය රජය විසින් වැඩි කරන සෑම අවස්ථාවකදීම දුම්කොළ සමාගම් විසින් සිගරට්වල නව මිල ප්‍රකාශයට පත් කිරීමයි.
එම මිල තීරණය කිරීමේදී බොහෝ දෙනා වැරදියට තේරුම් ගන්නේ මේ වැඩි වූ සියලුම මිල බදු ලෙසයි. නමුත් දුම්කොළ සමාගමට වාසිදායක බදු ප්‍රතිපත්තියක් පවතින නිසා දුම්කොළ සමාගම එහි වාසිය අත් කරගනිමින් සිගරට් මිල නම්‍යතාවය, ඒක පුද්ගල ආදායම් සහ උද්ධමන අගය ආදී කාරණා සැලකිල්ලට ගනිමින් ඔවුන් රජය විසින් පනවන බද්ද මත මිලක් එකතු කරමින් සිගරට් මිල ඉහළ දමයි.
බොහෝ අවස්ථාවලදී රජයේ බදු අනුපාතයට හෝ එම අනුපාතයට ඉහළ අගයකින් බදු මත මිලක් පනවනු ලබයි. මෙම තත්ත්වය නිසා සමාගම් අති දැවැන්ත ලාභයක් හිමිකර ගෙන ඇත. උදාහරණයකින් මෙය පැහැදිලි කළහොත් සිගරට් සඳහා රජය රු.10 කින් බදු වැඩි කල විට ඒ මත දුම්කොළ සමාගම තවත් රු.10ක් තබමින් සිගරට් මිල වැඩි කරනු ලබුවහොත්. සාමාන්‍යයෙන් වසරකට සිගරට් මිලියන 2000 පමණ අලෙවි වන බැවින් එම වැඩි කිරීමෙන් පමණක් දුම්කොළ සමාගම රු මිලියන 20,000ක අමතර දැවැන්ත ලාභයක් උපයයි.
මුදල් අමාත්‍යංශය කළ යුතුව ඇත්තේ සිගරට් මිල නම්‍යතාවය, එක පුද්ගල ආදායම් සහ උද්ධමන අගය ආදී කාරණා සැලකිල්ලට ගනිමින් සිගරට් සඳහා උපරිම බදු ප්‍රමාණයකින් සිගරට් බදු ඉහළ දමමින් බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමේ ලාභය තවදුරටත් තර කර ගැනීම සඳහා ඒ මත විශාල මිල වැඩිවීමකට ඉඩ නොතිබීමයි. ඉහත උදාහරණයට අනුය රජය බදු වැඩිකළ යුතුව තිබුනේ රු.10 කින් නොව රු.19.50 ක් වැනි ප්රමාණයකිනි. මුදල් අමාත්‍යාංශය නිවැරදි ආකාරයෙන් කටයුතු සිදු කලා නම් බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම පොහොසත් නොකර රටේ භාණ්ඩාගාරය තවදුරටත් පොහොසත් කිරීමට හැකියාව තිබුණි.
මෙසේ තම ලාභය වැඩි කර ගැනීම නැවතත් උපයෝගී කරගනිමින් සිගරට් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් දරුවන් සහ තරුණයන් සිගරට් සමාගම්වල ගොදුරක් කරගැනීමට ඔවුන් තවදුරටත් කටයුතු කරයි.
නිවැරදි බදු වැඩිකිරීම තුළින් සිගරට් භාවිතය අඩුකිරීමටත් රටේ අදායම වැඩි කරගැනීමටත් හැකියාව ඇත. එයට හොඳම උදාහරණය නම් 2023 වසරේ සිගරට් බදු වැඩි කිරීම නිසා සිගරට් අලෙවිය 18% (සිගරට් මිලියන 521.5) අඩු වි සිගරට් බදු ආදායම 7% (රු බිලියන 7.7) කින් වැඩි වි ඇත. සිගරට් භාවිතය අඩුවීමෙන් මිනිසුන්ගේ සතුට සහ නිදහස වර්ධනය වීමත්, සෞඛ්‍ය දියුණු වීමත්, පවුලේ ආර්ථික තත්වය දියුණු වීමත් යන කාරණා හේතුවෙන් රජයට සිදු වන සෞඛ්‍ය වියදම අඩු වීමද වාසි සහගත තත්වයකි.
නව රජය පිළිබඳ ජනතාවගේ නැවුම් බලාපොරොත්තු ගණනාවක් ඇත. ඔවුන්ගේ එක් බලාපොරොත්තුවක් වන්නේ රටට වාසිදායක බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් රජයට හිමි විය යුතු බදු කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් ස්ථාපනය කරන ලෙසයි.
සිගරට් බදු අයකරගැනීමේ දී මේ දක්වා මුදල් අමාත්‍යංශය හරහා සිදුවූයේ රටේ බදු ආදායම් නිසි ප්‍රමාණයෙන් වර්ධනය කරගන්නවා වෙනුවට බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම පොහොසත් කිරීමයි.
මෙම තත්වයට තිත තබමින් අභිනව මුදල් අමාත්‍ය සහ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 2/3 බහුතරයක් හිමි නව රජය මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටී.