“විප්ලවයකින් පස්සේ ඇති වෙන වෙනස මොකක්ද කියලා දන්නේ නැහැ” කියලා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන නිර්මාල් දේවසිරි කියනවා. ලෝක ඉතිහාසය ගැන මූලික අධ්‍යයනයක් හෝ තියෙන කෙනෙකු එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? නැපෝලියන් බොනපාට් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. රුසියානු විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? ජෝසප් ස්ටාලින් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. චීන විප්ලවයෙන් පස්සේ මොකද වුණේ? මාඕ සෙඩොන්ග් නමැති ඒකාධිපති ආඥාදායකයා බලයට ආවා. ඒ සෑම කෙනෙකුම මිලියන ගණන් මිනිසුන් ඝාතනය කළා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රය නැති කළා. විශාල සංස්කෘතික මර්දනයක් සිදු කළා. ලෝකයේ ඕනෑම විප්ලවයකින් පස්සේ එන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක්. ඒක වැළැක්විය නොහැකි ප්‍රත්‍යුත්පන්න නියමයක්.

නිර්මාල් දේවසිරිට මේක තේරුම් ගන්න බැරි නම් ඔහු ඇත්තටම ජනතා මුදලින් ඉතිහාසය උගන්වන්නත් සුදුසු නැහැ. නමුත් නිර්මාල්ට ඇත්තටම මේක තේරුම් ගන්න බැරි බව මා දන්නවා. ඒ සඳහා අවශ්‍ය ජානමය නියුරෝන සැකැස්ම ඔහුට කර්මානුරූපීව පිහිටලා නැහැ.

ලංකාවේ 71 විප්ලවයෙන් බලයට ආවේ ජේ. ආර්. ජයවර්ධන සහ වේ. පිරපාහරන්. ඒ දෙන්නම ඒකාධිපති ආඥාදායකයන්. 2022 ඊනියා අරගලය නමැති විප්ලවයෙන් බලයට ආවේ කවුද? අනුර කුමාර දිසානායක… ඊළඟට වීමට නියමිත දේ ගැන ඉතිහාසයේ ඕන තරම් පාඩම් තියෙනවා. මේක වෙන්නේ කොහොමද? ඕනෑම මිනිස් සමාජයක් සර්ව සම්පූර්ණ නැහැ. සර්ව සම්පූර්ණ කියන්නේ අපි හදා ගත්ත සංකල්පයක් පමණයි. ලෝකය පවතින හැටියට තමයි ලෝකය පවතින්නේ. ඒක අසම්පූර්ණයි කියලා මෝඩයා හිතනවා. නමුත් ලෝකය එහෙම සම්පූර්ණ හෝ අසම්පූර්ණ හෝ කියලා විශේෂයක් නැහැ. මෙන්න මේ යථාර්ථය පළමුව තේරුම් ගත යුතුයි.

අර නොපවතින පරිපූර්ණත්වය සොයන පුහුදුන් මිනිසා හැම වෙලාවෙම ඉන්නේ නොසතුටින්. ඒ නිසා ඔහු පවතින සිස්ටම් එකට හැම වෙලාවෙම වෛර කරනවා. ඔහු හිතනවා පවතින සිස්ටම් එක වෙනස් කිරීම තුළින් අර පරිපූර්ණත්වය ලබා ගන්න පුළුවන් කියලා. ඒ සඳහා ඔවුන් “විප්ලවයක්” කියලා එකක් කරනවා. තිබුණ ව්‍යුහය කඩලා අලුත් ව්‍යුහයක් හදනවා. අලුතෙන් බලයට එන පාලකයාට දැන් සිද්ධ වෙනවා අර නොපවතින මනඃකල්පිත පරිපූර්ණ ලෝකය අර මෝඩයන්ට හදලා දෙන්න. නමුත් එහෙම ඉලව්වක් ඇත්තටම නැහැ. ඒක කර ගන්න බැරි වෙන කොට එන භංගත්වය විසින් දන්නෙම නැතුව මර්දනය පටන් ගන්නවා. එහෙම තමයි ඒකාධිපති ආඥාදායක පාලනයක් බිහි වෙන්නේ.

අනුර කුමාර තරම් දැන් මානසික පීඩනයක ඉන්න මිනිහෙක් තවත් නැහැ. දකුණේ සිංහලයන්ගේ බලාපොරොත්තු, උතුරේ දෙමළුන්ගේ බලාපොරොත්තු, කඳුකරයේ දෙමළුන්ගේ බලාපොරොත්තු, ඇමරිකාවේ බලාපොරොත්තු, කැනඩාවේ බලාපොරොත්තු, ඉන්දියාවේ බලාපොරොත්තු… සියල්ල ඔහු මත පැටවිලා. ඒක ඔහු විසින්ම නිර්මාණය කර ගත් විපාකයක්. මේ බලාපොරොත්තු එකිනෙකට පරස්පරයි. ඒවා අතාර්කිකයි. ඒවා ඉෂ්ට කරන්න බැහැ. එහෙම බැරි වෙන කොට තමයි මර්දනය එන්නේ. මර්දනය තුළින් ඒවා ඉෂ්ට කරන්න හදනවා. බොනපාට්ලා, ස්ටාලින්ලා, සෙඩොන්ග්ලා ඔක්කෝටම වුණේ ඒක. ඒක වෙන්නේ ක්‍රමිකව. එක පාරට නොවෙයි. ඒක වෙනවා දැනෙන්නේ නැහැ.

ලෝක ධර්මය අවබෝධ කළ මිනිහා මේ යථාර්ථය පුළුල් චිත්‍රයක් වගේ දකිනවා. ඒ නිසා තමයි ඔවුන් පවතින සිස්ටම් වෙනස් කරන්න යන්නේ නැත්තේ. බුදුන් වහන්සේ සිස්ටම් වෙනස් කරන්න ගියේ නැහැ. උන් වහන්සේ කළේ සිස්ටම් එකෙන් ගැලවුණු එකයි, ගැලවෙන හැටි ගැන කියලා දුන්නු එකයි, සිස්ටම් එකේ සතුටින් ඉන්න හැටි ගැන කියලා දුන්නු එකයි පමණයි. සිස්ටම් වෙනස් කරන්න ගිය ජේසුස් මැරුම් කෑවා. අන්තිමට ලෝකයේ දරුණුම ඒකාධිපති ආඥාදායක ව්‍යුහයක් වන පල්ලිය හැදුණා. ලෝකය පවතින විදිහ ආසන්නයේ පවතින්න පුළුවන් මිනිස් සමාජයක් හදන්න ලෙහෙසි නැහැ. ඔය Sustainability, Social Enterprise, Liquid Democracy ආදියෙන් මා ඒ දවස්වල ඉගැන්නුවේ එහෙම ක්‍රමයක්. නමුත් ඒවා ලංකාවේ කරන්න බැහැ. මොකද එහෙම වෙන්න නම් ඒ සමාජයේ බහුතරයක් මෝඩකමින් මිදිලා ප්‍රඥාව ලැබිය යුතුයි. ඒකාධිපති ආඥාදායකයෙකු වීමට අවශ්‍ය සියලු සුදුසුකම් අනුර සතුයි. ඒ සඳහා ඔහු පළමු පියවර හෙට තියනවා. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2024 නොවැම්බර් 17
Subscribe to my WhatsApp Channel for more: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න