බොරු කීම කියන්නෙ පුද්ගල මානසික ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක ප්‍රකාශනයක්. බොරු කීම පිටුපස එක්තරා විදිහක පංතිමය කාරණා තියෙනවා. බොරු කීම කියන්නෙ කුඩා කාලයේ පටන් ලැබෙන ‍පුහුණුවක්. ඒක පවුල හෝ පරිසරය ඇසුරෙන් ලැබෙන්නෙ නැතුව සාර්තක බොරු කියන්නෙක් වෙන්න බෑ. ඒ වගේම එහෙම පුහුණු කළ බොරු කියන්නෙකුට ඇත්තක් කියන්නත් බෑ.

බොරුව කියන්නෙ පීඩිතභාවයක ප්‍රකාශනයක්. බොරු කීම නිර්මාණය වෙන්නෙ පීඩිත බවේ සහ අනාරක්ෂිත බවේ ප්‍රකාශනයක් විදිහටයි. පීඩිතභාවයෙන් ගැලවීම වෙනුවෙන් කෙනෙක් තමන්ටමත් අනුන්ටත් බොරු නිර්මාණය කරන්න පුළුවන්. එයින් ප්‍රතිඵලයක් ලැබෙන නිසා ඒක චර්යාවක් වශයෙන් දියුණු වෙනවා.

ඒ වගේම පවුලේ හෝ ම‍වගේ ආදරය ආරක්ෂාව නොලැබීමේදී බොරුව උදව්වක් වෙන්න පුළුවන්. බොරුව නිසා ආදරය, ගෞරවය ලබන්න පුළුවන්. එතකොට ඒක චර්යාමය තත්වයක් බවට දියුණු වෙනවා. ඒ බොරුව පවතින්නෙ පුද්ගලයාගේ දුබලතාවයක් ආවරණය කිරීමක් විදිහටයි. ඒ දුබලතාවය වසාගෙන යම් පෞර්ෂයක්, සමාජ සාධාරණයක් ඒ පුද්ගලයා ලබන්නේ බොරුව තුලින්.

ඒ නිසා බොරු කියන මිනිස්සු රැවටිලිකාර‍යො විදිහට දකිනවට වඩා මං කැමති ඒ අය පීඩිතයො විදිහට දකින්න. විශ්වාසය සහ සමාජ සබඳතාවල අර්බුද වලට මුහුණ දුන් අය විදිහට දකින්න. බොරුව විෂම චක්‍රයක් විදිහට නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් බොරු කියනවා. බොරුව නිසා නැවත විශ්වාසය බි‍දෙනවා.

කුඩා කාලයේ පටන් මේ පීඩිත තත්වයට මුහුණ දුන් කෙනෙකුට මිස බොරු කියන්න බෑ. බොරුවේ තෘප්තිය ලබන්න නම් ඒ මානසිකත්වය පවතින්න ඕන. බොරුව සමාජ ප්‍රශ්නයක් විදිහට කියවනවා මිස එය ජනාධිපතිගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ පුද්ගල ප්‍රශ්නයක් විදිහට දැකීම දෝෂ සහගතයි.

ඇත්ත ආත්මීයයි. බොරුව දේශපාලනිකයි.

  • Chinthana Dharmadasa –

.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න