2024 නොවැම්බර් 3 සිට 8 දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති 67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූවාය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 700 කට අධික පිරිසක් මෙම ගෞරවනීය අවස්ථාවට එක්වූහ.
නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නිව් සවුත් වේල්ස් ශාඛාව විසින් මෙම සමුළුව සංවිධානය කරන ලදී. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක 180කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කිරීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අරමුණ තවදුරටත් ශක්තිමත් කරමින් ජාතික, ප්‍රාන්ත සහ පළාත් ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන්, මුලසුන හොබවන නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සමුළුවට සහභාගී වූහ.
ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ විධායක කමිටු සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රියාවලිය අධීක්ෂණය කරමින් මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාලය විසින් රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව විනිවිදභාවයෙන් යුතු සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සහතික කරමින් අදාළ රහස් ඡන්දයේ නිල නිරීක්ෂකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස රෝහණදීර මහත්මිය සහභාගි වූවාය.
මීට අමතරව, රෝහණදීර මහත්මිය කලාපීය ලේකම්වරුන්ගේ රැස්වීමට සහභාගි වූ අතර, එහිදී ඇය ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාලයේ මහලේකම් ස්ටීවන් ට්විග් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවලට සහභාගී වූවාය. තවද මහලේකම්වරිය 8 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ (CWP) සමුළුව, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සමුළුව සහ 58 වැනි මහලේකම්වරුන්ගේ සංගමයේ (Society of Clerks-at-the-Table – SOCATT) රැස්වීම්වලට ද සහභාගි වූවාය.
තවද, ඇය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාලයේ ජැක් හාඩ්කාසල් මහතා සමඟ සාකච්ඡාවලට එක්වූවාය. එසේම මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සඳහා 2025 මැයි මස පැවැත්වීමට නියමිත වැඩසටහනට අදාළ කරුණු සාකච්ඡා කිරීමට රෝහණදීර මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානි ශාඛාවේ ජෝෂ් ඩ්‍රේක් මහතා හමුවිය.
අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව පෝෂණය කිරීම, පරිපාලන ප්රමිතීන් ශක්තිමත් කිරීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් මෙහිදී නැවත තහවුරු කිරීම සිදුවිය.