තත්ත්වය සිතුවාට වඩා බරපතළය. අනුර vs. හරිනි ගැටුම ගැන හරිනිම වේදිකාවේ කියවන්නට පටන් ගෙන තිබේ. “අපි අතරේ එහෙම ගැටුමක් නැහැ” කියා කියන්නට වීමෙන් පෙනෙන්නේ ගැටුම උග්‍ර වෙමින් තිබෙන බවයි. “අපි ගොඩාක් සාකච්ඡා කළා” කියන්නේ දීර්ඝ විසංවාදයක් සිදු වී තිබෙන බවයි. හරිනි ඒ කතාව කළේ විශාල මානසික ආතතියකිනි. රථගාය ගැන ජාත්‍යන්තර බොරු කියන්නට ගොස් අනා ගත්තේය. “යුද්ධය අවසන් කළේ 2011” කියා නා ගත්තේය. ලංකාවේ අගමැතිගේ සාමාන්‍ය දැනුම විහිළු සහගතය. සමාජ විද්‍යා දැනුම අනුකම්පා සහගතය. මුල්ම දවසේ මූණ දමා මුද්දරයක් ගසා සවුත්තු විය. ගංවතුර අස්සේ මුරකුටි කඩා නෝන්ඩි විය. ප්‍රභූ විගඩම් යනු මේවාය.

අනුර කර ගත් ලොකුම දේශපාලන මෝඩකම හරිනිට අගමැතිකම දීමයි. මාලිමාව යනු හරිනිය. හරිනි යනු මාලිමාවය. හරිනි අඳින්නේ මාලිමාවේ පාටය. අනුර අඳින්නේ ඒ පාට නොවේ. අනුර කෙතරම් උත්සාහ කළත් නාගරික මධ්‍යම පාන්තිකයා කැමති හරිනිටය. අනුරට ඡන්දය දෙන්නේ මහින්දට ඡන්දය දුන් ගමේ සිංහල බෞද්ධ බයියා පමණී. ඇල්පිටිය පුංචි ඡන්දයේ මාලිමාවට ඡන්දය දී ඇත්තේ සිංහල බෞද්ධයන් පමණී. මහා මැතිවරණයේ වෙන්නෙත් මෙයමය. බහුතර ආසන සහිත ආණ්ඩුවක් හදන්නට එය ප්‍රමාණවත්ද යන්න වෙනම ප්‍රශ්නයකි.

අනුර ජනාධිපති වුණේ ගෝඨාභයගේ කැම්පේන් එක ගෙඩිය පිටින් කොපි කිරීමෙනි. වියත්මග සහ එළිය ආදී සංවිධාන ආකෘතියට සමානවම නාගරික මධ්‍යම පාන්තික සෙවලයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ වෘත්තීය සංවිධාන හරහා ජන මතය සංවිධානය කළ ආකාරය අකුරක් නෑර සමානය. අනුරට ඡන්දය දුන්නේ ගෝඨාභයට ඡන්දය දුන් ලක්ෂ 69 යෙන් 56 කි. ඡන්දය දිනන්න එය සාර්ථක ක්‍රමයකි. නමුත් ආණ්ඩුව කරන්න නම් පුතේ ගෝඨාභයගේ ක්‍රමය සාර්ථක නැත.

ඡන්දය දිනන්න නාගරික මධ්‍යම පන්තිකයා භාවිතා කළ යුතු වුවත් ආණ්ඩුව කර ගෙන යාමේදී ඔවුන් සතුටු කරන්නට යාම අනුවණ කමකි. ගෝඨාභයට වැරදුණේ එතනය. නාගරික මධ්‍යම පාන්තිකයා යනු කිසිදු අණක් ගුණක් නැති කාලකන්නි හැත්තකි. ඔවුන් අත්මර්ථකාමීන්ය. ඔවුන් අවස්ථාවාදීන්ය. තමන්ගේ වාසියට සුටුස් ගා ප්‍රතිපත්ති වෙනස් කරන අධමයන්ය. ස්වෝත්තමවාදයෙන් මෙහෙයවෙන අහංකාර මෝඩයන්ය. ගෝඨාභය හදපු ඇවිදින මංතීරුවල තඩි බඩවල් බස්සන්න ඇවිදින ගමන් ගෝඨාභයට බැන්නේ උන්ය. මහින්ද හදපු අධිවේගී මාර්ගවල ට්‍රිප් යන ගමන් මහින්දට විහිළු කළේ උන්ය. ගෝඨාභයට එන්න කිව්වෙත්, ගෝඨාභයට යන්න කිව්වෙත් උන්ය. එබැවින් මධ්‍යම පාන්තිකයා යනු උග්‍ර විෂ සහිත සර්පයන්යටත් අන්ත ජීවීන්ය.

නාගරික මධ්‍යම පාන්තිකයා මාලිමාවට සහාය දුන්නේ මාලිමාවේ ඇති “හොඳක්” නිසා නොවේ. ජවිපෙ ඇති “නරක” නිසාය. ඔවුන් මාලිමාවට සෙට් වුණේ අනුරට ඇති “බිය” නිසාය. මධ්‍යම පාන්තිකයා යනු සොරෙකි. බොරුකාරයෙකි. බේබද්දෙකි. සල්ලාලයෙකි. අහංකාරයෙකි. ඔවුන්ගේ එම ජීවන රටාව දැඩි මර්දනකාරී ජවිපෙ විසින් පාලනය කරනු ඇතැයි ඔවුන් බිය වූයේය. ඔවුන් එවිට කරන්නේ එම මර්දකයා සමග සූක්ෂමව එකතු වීමයි. ජෝන් කීල්ස් ලොක්කාගේ සිට ඩිල්මා ලොක්කි දක්වා ඔය සියලු දෙනා NPP යට සහාය දුන්නේ තමන්ගේ ප්‍රභූ ධනේශ්වර interests ආරක්ෂා කර ගැනීමට මිසක් රට හැදීම වැනි කෙහෙල්මලකට නොවේ. ගෝඨාභයට පවා ඔවුන් සහාය දුන්නේ එකල ඔහුට ඔවුන් තුළ වූ ඒ පරාණ බිය නිසාය. නමුත් ගෝඨාභය ඒ බය නැති කර ගත්තේය. ඉන් පසුව මධ්‍යම පාන්තිකයා ඔහුගේ කරේ නැග්ගේය.

අනුරට වෙමින් තිබෙන්නේත් එයයි. අනුර ඔය ඇල් වතුරත් නිවලා බොන ළාමක ටින් ටින් ප්‍රතිරූපය දිගටම පවත්වා ගන්නට ගියොත් මධ්‍යම පාන්තිකයා තුළ ඔහුට ඇති බිය නැති වේ. දැනටමත් එය සිදු වී තිබේ. හරිනි හරහා ඔවුන් කරන්නේ මධ්‍යම පාන්තිකයාගේ interests ආරක්ෂා කිරීමයි. සහල් මිල පාලනය කර ගන්න දැන් අනුර මෝල් කාරයන් සමග රැස්වීම් දහයක් විතර පවත්වා තිබේ. විලිලැජ්ජයි. ගෝඨාභයත් ඔය විදිහට කට්ටිය ගෙනල්ලා බොහෝම වෘත්තීය විදිහට රැස්වීම් තිබ්බා. උන් කාලා බීලා කැමරාවට මූණ පෙන්නලා තමන්ගේ සුඛෝපභෝගී වාහනවල නැගලා යන්නේ අධෝමුඛයෙන් හිනා වෙවී.

ලංකාවේ ආණ්ඩුව කරන්න නාගරික මධ්‍යම පාන්තිකයා සතුටු කරන්නට යාම අමු මෝඩ කමකි. ඔවුන් කිසිදාක සතුටු කළ හැකි ආත්ම නොවේ. කළ යුත්තේ ඔවුන් තව තවත් බියට පත් කිරීමයි. ඔවුන් බියසුල්ලන්ය. බියට පත් වූ පසු ඔවුන් කරේ නගින්න එන්නේ නැත. ඔවුන්ගේ ආතල් කුඩු කරන දැඩි පාලනයක් ගෙන ආ යුතුය. එය කරන හැටි ජවිපෙ නම් ටක්කෙටම දනී. නමුත් හරිනි සටන අත් හරින්නේ නැත. හරිනිට අගමැතිකම දීම නාගරික මධ්‍යම පාන්තිකයාගේ බිය නැති වීමට ප්‍රබල හේතුවකි. දිස් ඉස් පොලිටික්ස්.

එරන්ද ගිනිගේ
2024 ඔක්තෝබර් 27
මෙවැනි ලිපි ලියූ සැණින් කියවන්න ගිනිහුළට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න