ලෝකයේ සෑම පුද්ගලයන් තිදෙනෙක් අතරින් එක් අයෙක් දත් දිරායාමේ රෝගයට ගොදුරුවී ඇති බවත් එය මිනිස් ප්‍රජාවේ වැඩිම ව්‍යාප්තියක් ඇති රෝගය බවත් මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා අවදාරණය කළේය.

දත් දිරායාම සිදුවන්නේ එහි ආරක්ෂක එනමල් ආවරණයට හානි සිදුවීමෙන් බවත් පැනි රස හෝ සීනි අන්තර්ගත ආහාර ගැනීමෙන් දත් මත ඇතිවන බැක්ටීරියා අහිතකර අන්දමින් ක්‍රියා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවන බවත් වෛද්‍ය නිලන්ත රත්නායක මහතා කීය.

ප්‍රමාණවත් ෆ්ලෝරයිඩ් භාවිතයෙන් ඉතා පහසුවෙන්ම දත් දිරායාම වලක්වා ගත හැකි බවත් දියුණු රටවල පානීය ජලයට ෆ්ලෝරයිඩ් එක් කිරීමෙන් මෙම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා බවත් ‍හෙතෙම සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් භාවිතා නොකරන බැවින් වෙනත් ආකාරයකින්  ෆ්ලොරයිඩ් ලබාගතයුතු බවත් ‍ මේ සදහා ෆ්ලෝරයිඩ්  සහිත දන්තාලේපයක් භාවිතා කිරීම වඩාත්ම සුදුසු පිලියම බවත් විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දුන්නේය.

‍ෆ්ලෝරයිඩ් ශරීර ගතවීම අහිතකර ප්‍රතිපල ඇතිකරන බවට සමාජයේ දුර්මතයක් පවතින නමුත් එසේ වීමට විශාල ප්‍රමානයක් ශරීර ගතවිය යුතු බවත් දත් බෙහෙත්වල අන්තර්ගතය ඉතා අල්ප ප්‍රමාණයක් බවත් හෙතෙම අවදාරණය කලේය

මිනිසාගේ නිරෝගී පැවැත්ම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශිත ප්‍රධාන සෞඛ්‍ය පිළිවෙත් 10 අතරට ෆ්ලෝරයිඩ් භාවිතයද ඇතුලත් වන බවත් ෆ්ලෝරයිඩ් භාවිතය මිනිසාගේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ඔවුන් හදුන්වා ඇති බවත් වෛද්‍ය  රත්නායක මහතා කීය.

වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මේ බව සදහන් කළේ “දත් සුරැකීමට ෆ්ලෝරයිඩ් භාවිතය“ නමින් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පළමු කිරි දත මෝදුවීමත් සමග දත් මැදීම ආරම්භ කරන ලෙසත් වයස අවුරුදු 3 දක්වා සිහින් පටලයක් ලෙස දත් බෙහෙත් භාවිතා කරන ලෙසත් ඉන්පසුව කඩල ඇටයක ප්‍රමාණයක් භාවිතා කරන ලෙසත් සෑම විටම ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් තෝරාගන්නා ලෙසත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශානිකා මුතු තන්ත්‍රී මහත්මිය අවදාරණය කළාය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න