වහෙන් ඔරෝ කියන්න දෙයක් නැත. මේ තිබෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අප සංවිධානය කරන කුඩා ව්‍යාපෘතියකි. දාර්ශනික ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින අප වැනි පිරිසක් මැතිවරණ දේශපාලනයේ එක් පාර්ශවයක් – ජාතික ජන බලවේගය – තෝරා ගන්නේ කෙසේද? මේ තිබෙන්නේ එම ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දීමට ගන්නා උත්සාහයකි. දර්ශනය සහ දේශපාලනය අතර පරතරය පියවීම සඳහා මෙහිදී අප කලාව නම් තුන්වැනි සාධකයක් එකතු කරයි. අප සිතනා ආකාරයට බේලා ටාර් නම් හංගේරියානු සිනමාකරුවාගේ සිනමාව මේ සඳහා අතිශය යෝග්‍ය බුද්ධිමය වැඩ බිමකි.

බේලා ටාර් ගේ සිනමාව සම්බන්ධයෙන් තිබෙන අධිපති අර්ථකථනය වන්නේ එය නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍යයන් හී නිලධාරීවාදයට එරෙහි සමාජ විවේචනයක් ලෙස ආරම්භ වී පාරභෞතික විද්‍යාත්මක සිනමාවක් (metaphysical cinema) ලෙස පරිසමාප්තියට පැමිණ අවසන් වන බවයි. අවසානයේ දී එමගින් අපට පෙන්වා දෙන්නේ බලාපොරොත්තුව අහිමි වූ ලෝකයක මානව ඛේදවාචකයයි කියා එම අධිපති අර්ථකථනය නිගමනය කරයි.

අප උත්සාහ කරන්නේ මේ අධිපති ආඛ්යායනය අභියෝගයට ලක් කිරීමටයි. බලාපොරොත්තු විරහිත බවේ අවසාන ඉම සහ නව බලාපොරොත්තුවක පළමු ආලෝක දහරාව අතර සමීප සම්බන්ධයක් ඇතැයි කියා අපි සිතමු. එය අපේ රටේ අප ඉදිරියේ ඇති සංයුක්ත දේශපාලන තෝරා ගැනීම් වලට ඍජුව සම්බන්ධ වෙයි.

නමුත් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අපගේ දේශපාලන පක්ෂපාතීත්වයන් සමග එකඟ වීම කිසිසේත් අනිවාර්යයක් නොවේ. සත්‍ය වශයෙන්ම, අවශ්‍යනම්, මෙය ප්‍රමුඛ සමකාලීන සිනමාකරුවෙක් පිළිබඳ ‘සිනමා පාඨමාලාවක්’ ලෙස තේරුම් ගත්තාට අපේ විරෝධයක් නැත. මේ තිබෙන්නේ බේලා ටාර් නම් හංගේරියානු සිනමාකරුවාගේ සිනමා සිතීම පිළිබඳව සිදුකරන අධ්‍යයනයකි. බේලා ටාර් ගේ සිනමාව අව්‍යාජ ලෙස අත්දැකිය හැකි ආකෘතියකින් මෙම සිනමා දර්ශන පෙන්වීමට අප උපරිම උත්සාහ කරන්නේ මෙම නිසාය. අන් සියල්ලට පෙර අප උනන්දු වන්නේ සිනමාව රස විඳීමට පක්ෂපාතී වීමටයි. බේලා ටාර් ගේ මුල් කාලීන චිත්‍රපට වල සිට අවසාන චිත්‍රපටිය දක්වා නියෝජනයක් මෙයට අපි ඇතුලත් කරමු. එම නිසා සිනමාව ගැන උනන්දු කෙනෙකුට, සිනමාව ඉගෙන ගැනීමට උනන්දු කෙනෙකුට එවැනි අර්ථයකින් මෙයට සහභාගී වීමේ පූර්ණ නිදහස තිබේ.

මෙවැනි ද්විත්ව ප්‍රවේශයකින් මේ සමග සම්බන්ධ වීමේ හැකියාව ඇති වන්නේ අප අන් සියල්ලට පෙර බේලා ටාර් ගේ සිනමා සිතීමට පක්ෂපාතී වන නිසාය. අප පළමුවෙන් උනන්දු වන්නේ ඔහු සිය සිනමාව ඇසුරින් සිතන්නේ කුමක්ද යන සරල ප්‍රශ්නයට පිළිතුරැ දීමටයි.

අනෙක් අතට, අප මුළුමනින් විරුද්ධ වන දෙයක් තිබෙන්නේ නම් ඒ ප්‍රචාරණවාදී කලාවයි. එම නිසා මෙහිදී අප කලින් තීරණය කර තිබෙන අදහසක් කෙසේ හෝ බේලා ටාර් ගේ සිනමාවට එබ්බවීමට අප උත්සාහ කරන්නේ නැත. එය කලාව සහ දර්ශනය පිළිබඳව අපගේ ආස්ථානය මුළුමනින් පාවා දීමක් වනු ඇත. එවැන්නක් වෙනුවට අප උත්සාහ කරන්නේ සිනමාව ගැන අන්තර්භූත (immanent) කියවීමක් කිරීමටයි. එහි අවසාන පදනම වන්නේ සිනමාකරුවා විසින් අප වෙත ඉදිරිපත් කරන දෙයම පමණි.

මේ සඳහා අප මූලික මග පෙන්වීමක් ලෙස ගන්නේ ජාක් රොන්සියර් ගේ “Béla Tarr, The Time After” නම් කෘතියයි. නමුත් මෙහි සහය රංගනය සඳහා අප ඔන්රේ බර්ග්සෝන්, ජිල් ඩෙලූස්, කොන්ටෙන් මෙයසූ ආදී චින්තකයන් තව බොහෝ දෙනෙක් වේදිකාවට කැඳවනු ඇත. එය දේශපාලනයට සම්බන්ධ වන ආකාරය අප තීරණය කළ යුත්තේ මේ සියල්ල අවසානයේ දී පමණි.

සිනමාව, භෞතිකවාදය, දේශපාලනය ගැන අපත් සමග දුරදිග යන සංවාදයකට එකතු වන්න කැමති සහෝදරත්වයට ආරාධනා!

පෙන්වීමට නියමිත චිත්‍රපට:

  1. “The Prefab People” – 1982
  2. “Damnation” – 1988
  3. “Werckmeister Harmonies” – 2000
  4. “The Turin Horse” – 2011

සංවිධානය :: බටහිර ඉවුරේ දර්ශනය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න