• ඉදිකරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රුපියල් මිලියන 19ක් – සුනිත්‍ය බලශක්ති අධිකාරිය කාරක සභාවට දන්වයි.
  • විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දෙන අතිරේක දීමනාව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ  නිලධාරීන්ට ද  ලබා දීමට කාරක සභාවෙන් නිර්දේශ.

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක  සුර්යබල  උද්‍යානයේ  ඉදිකිරීම්  කඩිනම්  කිරීමට අවශ්‍ය  උපදෙස් හා නිර්දේශ  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  විසින් ලබා දෙන ලදී. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා  පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දක්වමින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම සියඹලාණ්ඩුව  සුර්යබල  ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 මුදල් වැයවන  බව පෙන්වා දුන්හ.කෙසේ වෙතත් එම බලාගාරයේ ඉදිකරීම් ප්‍රමාදයෙන්  දිනක පාඩුව රුපියල් මිලියන 19ක් බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම සුර්යබල  උද්‍යානයේ ප්‍රවේශ මාර්ගය, ව්‍යාපෘති කාර්යයන් වෙනුවන් භාවිතා කිරීමේදී පවතින ගැටලු   හේතුවෙන් එහි ඉදිකිරීම්  ප්‍රමාද වී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ  නිලධාරීහු  කාරක සභාවට දැන්වූහ. එම ප්‍රවේශ මාර්ගය පිළිබඳව මේ වනවිට නඩු කටයුත්තක් අධිකරණයේ පවතින බවත් නඩු කටයුත්ත අවසන් වනතුරු මාර්ගය භාවිතා කිරිමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති බවද නිලධාරීහු කාරක සභවට දැන්වූහ.කෙසේ වෙතත් එම අධිකරණ නියෝගය මාර්ගය භාවිතා කිරීමට ලබා දී තිබුනද මාර්ගයේ බර වාහන ධාවනය කිරීමට නොහැකි වන සේ කාණුවක් කපා ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ. ඒ අනුව කාරක සභා සභාපතිවරයා, ප්‍රදේශයේ පොලීසියේ සහයෝගයෙන්  එම කාණුව  පිළිසකර කර වාහන ගමන් කිරීමට හැකි පරිදි මාර්ගය සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.එමෙන්ම  අධිකරණ තීරණයට යටත්ව එම මාර්ගය පොදු මාර්ගයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශට පත් කිරීමටත් එම මාර්ගය රජයට පවරාගැනීමටත් අවශ්‍ය  කටයුතු හැකි ඉක්මනින් සිදු කරන ලෙසට උපදෙස් ලබාදුන්නේය. පළමු වරට මෙරට රජය මගින්  ක්‍රියාත්මක කරණු ලබන  මෙම සියඹලාණ්ඩුව  සුර්යබල  ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක ලෙස අවසන් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ  සියලු පාර්ශව වල සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

මේ අතර  මන්නාරම හා පූනරින් සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය අත්පත් කරගැනීමට යෝජිත ඉඩම් විශේෂ දීමනා බලප්‍රතයක් ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත කඩිනමින් ලබා ගැනීම  පිළිබඳවද  කාරක සභාව තුළ  සාකච්ජා විය. ඒ අනුව කාරක සභාව විසින් දිස්ත්‍රික්ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරයාට අදාළ  ඉඩම් නිදහස් කරගැනීමේ ගැටලු කඩිනමින්  අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම ඉඩම්  මැනුම් මැනුම් කරන ක්‍රියාවලිය තුළ  ඇතිවී තිබෙන  ප්‍රමදයන්ද  කඩිනම්  කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරක සභාව  අදාළ  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාරසිරි රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා  ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්  සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න