වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනනුකුල වීම සම්බන්ධයෙන් කෝපා කාරක සභාවේ අවධානය.

  • බස්නාගොඩ ජලාශය ඉදික්රීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද රු.මි. 2,093 ක ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත රු.මි. 254 කින් වැඩි කිරීම සම්බන්ධයෙන් කෝපා කාරක සභාව නිලධාරීන්ගෙන් විමසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනුකුල නොවන බැවින්  එම පටිපාටිය නිවැරදි කිරීමට පෙර පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ  දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තවද, 2022 වර්ෂයේදී රු. 352,420,052ක් වටිනා චෙක්පත් 1177 ක් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු නමට නිකුත් කර රේඛනය අවලංගු කර ගෙවීම් සහතික කල කොට්ඨාශ සහකාර විසින්ම මුදල් කරගෙන තිබීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.  මේ අනුව මේ සම්බන්ධයෙන්  නිසි  ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කාරක සභාව මෙහිදී නිලධාරීන්ට නිර්දේශ කළේය.

බස්නාගොඩ ජලාශය ඉදික්රීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද රු.මි. 2,093 ක ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත රු. මි. 254 කින් වැඩි කර රු. මි. 2,347 ක වටිනාකමකට ප්‍රදානය කර තිබීම පිළිබඳව කෝපා කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී.

එහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ගණනයේ යම් අත්වැරදීමක් සිදුව ඇති බවත්, එය නිවැරදි කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇති බවත් ය.

මෙහිදී ගිං නිල්වලා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවෙන් 4.35% ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුනද එම ව්‍යාපෘතිය ආරම්භ නොකිරීම පිළිබඳවද සාකච්ඡා විය. මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, ගරු ජේ. සී. අලවතුවල මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න