මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා 2016 වර්ෂයේ දී, තිස් අවුරුදු බදු පදනම යටතේ, රු.මිලියන 14 වැය කොට ලබා ගත් ඉඩමේ මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට මෙහිදී අනාවරණය විය. ඒ අනුව, රටේ මහජනතාවගේ මුදල් විවිධ අවශ්‍යතාවයන් සඳහා වැය කොට ඉන් ප්‍රයෝජනයක් නොගැනීම සුළු කොට තැකිය නොහැකි බවට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කරනු ලැබීය.

මේ පිළිබඳ අවධානය යොමු වුයේ පසුගිය 24 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වය ය‍ටතේ රස වූ අවස්ථාවේදීය. පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කැඳවා තිබිණි.

තවද,මෙම ආයතනයේ කඩුවෙල ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සඳහා රු. ලක්ෂ 10ක්ද රත්නපුර කාර්යාල ගොඩනැගිල්ල සඳහා රු. ලක්ෂ 3 ½ ක්ද මාසික කුලිය වශයෙන් ගෙවන බවද අනාවරණය විය. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා ලාභ ලබන අන්තර්ජාතික මට්ටමේ පාඨමාලා බවට පත් කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු අන්තර් ජාතික මැණික් වෙළඳපොළ අධ්‍යනය කොට එම ප්‍රවණතාවයන් දේශීය කර්මාන්තය වැඩි දියුණු කිරීමට යොදා ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

මෙහි දෙවන සැසිය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබුණි. කාර්යක්ෂමව වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා තාක්ෂණ නිපුණත්වය අවැසි පවත්නා පුරප්පාඩු පිරවීම පිළිබඳව අවධානය යොමු විය. එම පුරප්පාඩු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභාව මෙහිදී අවධාරණය කරනු ලැබීය.

පාරිභොගිකයන් තමන්ගේ ජලය එකතු කර ගැනීමේ ටැංකි මාස 03කට වරක්වත් පිරිසිදු කර පවත්වා ගන්නේ නම්, තම ආයතනය සපයන නළ ජලය සෘජුවම පරිභෝජනයට ගැනීමට පවා ඉහළ ගුණාත්මක තත්ත්වයේ පවතින බවද අවධාරණය කරන ලද ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වැඩි දුරටත් පවසන ලද්දේ නල ජලය ලීටරයක් ලබා දීමට ශත 12ක පමණ මුදලක් වැය වුවද මේ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති මහජනතාව රු. 150ක පමණ මුදලක් වැය කර බෝතල් කල පානීය ජලය භාවිතයට හුරු වී ඇති බවය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ මහතා සහ ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න