කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු නායකත්ව වැඩසටහනක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආදී ආනන්දීය 2004 කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

“හෙට දවසේ නායකයෝ”යන තේමාව ඔස්සේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා ආනන්ද විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයන් 80ක පමණ පිරිසක් එක් වූහ. මෙහිදී ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ දරුවන්ට දැනුවත් කිරීම් සිදු කෙරිණි.

දරුවන් ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා,තමන්ගේ ජීවිත අත්දැකීම් ගෙනහැර දක්වමින් නියෝජ්‍ය කථානායක ධූරය දක්වා පැමිණි ගමන් මග හා ඒ හා බැඳී අභියෝග ජයගත් ආකාරය පිළිබඳව දරුවන්ට කරුණු පැහැදිලි කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා නවවැනි පාර්ලිමේන්තුව ඔස්සේ සමාජ යහපැවැත්ම වෙනුවෙන් වැදගත් වන්නා වූ අණ පනත් රැසක් සම්මත කර ගනිමින් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි වූ බව පැවසුවේය.

මෙහිදී දරුවන් ආමන්ත්‍රණය කළ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ ඉතිහාසය හා පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය පිළිබඳව සරල දැනුවත් කිරීමක් සිදුකළාය. එමෙන්ම ආනන්ද විද්‍යාලය මගින් ශ්‍රී ලංකාව තුළ බිහි කර ඇති නායකයන් පිළිබඳව සිහිපත් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා නායකත්ව ගුණාංග පිළිබඳව දරුවන් දැනුවත් කළේය. තවද ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන්ගේ නායකත්ව ගුණාංග පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා විසින් විශේෂ දේශනයක් සිදුකළේය.

මෙම නායකත්ව වැඩසටහන සඳහා සහභාගී වූ සිසු දරුවන් වෙනුවෙන් සහතික පත් පිරිනැමීමද නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති නුවන් ප්‍රියන්ත, විද්‍යාලයේ ගුරු භවතුන්, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝසල මුතුකුමාරණ, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම‍යේ විධායක සභාපති මහාචාර්ය අතුල කළුආරච්චි, ශ්‍රී ලංකා පාසල් ජිත් කුන්ඩෝ ප්‍රධාන ආත්මාරක්ෂක සටන් කලා උපදේශක ටිතිර පෙරේරා, ආදී ආනන්දීය 2004 කණ්ඩායමේ සභාපති තරිඳු විජේරත්න යන මහත්වරුන් මෙන්ම ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න