සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ප්‍රධානීන්ට පාර්ලිමේන්තුවේදී දැනුම් දෙයි
- පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට දැක්වූ දායකත්වයට ස්තූතියත් පළ කරයි…
එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දෙන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. එසේම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එම කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එබැවින් ඒ සදහා කැපවූ සියලු පාර්ශ්වයන්ට ගරු ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසිපරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් දුන්නේය.
ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු විය.
කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු ආචාර්ය සරත් වීරසේකර හා ගරු මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.