මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පසුගියදා (17) ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ / සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදික දංගොල්ල යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සභාව අමතමින් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශිෂ්ට ඉතිහාසය සහ පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය විස්තර කළේය. තවද සිසුන්ට ගැටලු ඉදිරිපත් කිරීමට ද ජනාධිපතිවරයා අවස්ථාව ලබා දුන්නේය.

සිසු දරුදැරියන් අමතමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ හදුන්වාදීමක් සිදු කළාය. පාසල් දරුවන් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමට අමතරව ගරු ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව අනාගත සිසු පරපුර අතර සමගිය, සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බව මහලේකම්වරිය සදහන් කළාය.

පාර්ලිමේන්තුව පුරවැසියන් සමඟ සම්බන්ධ කරමින් මහජනතාව සහ පාර්ලිමේන්තුව එකිනෙකාට සමීප කිරීමට මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සිසුන් අමතමින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයන් පැහැදිලි කළේය. ඉන් අනතුරුව නියෝජ්‍ය මහලේකම්වරයා බුදුරුවගල මහා විද්‍යාලයේ සිසුන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක ද නිරත විය.

මෙවැනි වැඩසටහන්වල වැදගත්කම පෙන්වා දුන් බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත් මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය තුළින් පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ දැනුම ප්‍රායෝගිකව වර්ධනය කර ගැනීමට දරුවන්ට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගී වූ දරු දැරියන්ට සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවූ අතර මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලීය පුස්තකාලයට පාර්ලිමේන්තුව විසින් පොත්පත් ප්‍රදානයක් ද සිදු කරන ලදී. අනතුරුව බුදුරුවගල මහා විද්‍යාලය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවට සහ පැමිණ සිටි ගෞරවනීය අමුත්තන් වෙත සමරු ඵලක ප්‍රදානය කිරීම ද සිදුවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න