චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති ඇතුළු සාමාජිකයින් පිරිසක් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති ආචාර්ය සුන් දහයි (Dr Sun Dahai) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ගරු මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්හු සහභාගී වී සිටියහ.

මෙහිදී කථානායකවරයා සමග සුහද සාකච්ජාවක නිරතවෙමින් හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හයිනාන් පළාතෙන් ලබා දිය හැකි සහයෝගයන් පිළිබඳවද, ඒ වෙනුවෙන් අනුගමය කරන ක්‍රියා පිළිවෙත් පිළිබඳව දැනුවත් කළේය. ඒ අනුව එම පළාතේ ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම පිළිබඳව දැනුවත් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි පවා සකස් කර ඇති බව ඒ මහතා පැවසුවේය. කොළඹ වරයා නගරය ( Colombo port city ) තුළ  ආයෝජනය කිරීමට ද එම පළාතේ ව්‍යාපාරිකයින් ට ඇති අවස්ථාවන් පිළිබඳවද ඒ මහතා සිහිපත් කළේය. එමෙන්ම එම පළාත හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින්  කථානායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු මිත්‍රත්වය සිහිපත් කළේය.මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දෙන්නාවූ සහයෝගය පිළිබඳවද කථානායකවරයා හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ නිලධාරීන් වෙත සිය ස්තූතිය පළකළේය. ඒ අනුව චීනය මෙතෙක් ලබාදුන් සියලු සහයෝගයන්ට ස්තුතිය පුදකළ කථානායකවරයා ඉදිරියට ද ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බව පැවසුවේය.

ඉන් අනතුරුව මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වයන් හා අභියෝග පිළිබඳව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා විසින් හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සාමාජිකයින් දැනුවත් කළේය. ඒ අනුව මෙරට ප්‍රධාන අපනයන බෝග සඳහා වෙළඳපොළක් නිර්මාණය කරගැනීම සඳහා දෙපාර්ශ්වය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීමේ වැදගත්කම එම නියෝජිතයින් විසින් පෙන්වා දුන්හ. තවද මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භෝග සඳහා පොහොර යෙදීමේ වැඩසටහන පිළිබඳව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතා විසින් පැහැදිළි කිරීමක් සිදුකර ඒ පිළිබඳව සකස් කළ වාර්තාව හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වෙත බාර දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ දියුණුව සඳහා ඔවුන්ගේ විශේෂඥදැනුම සහිත සම්පත්දායකයින් යොමු කිරීමටත්, දැනුම හුවමාරු වැඩසටහන් මගින් කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව පැවසුවේය.

මෙම හමුව සඳහා ව්‍යවස්ථාදායක සේවා හා සන්නිවේදන (වැඩ බලන) අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න