දෙහිවල ගල්කිස්ස (විවිධ සේවා) සමූපකාර සමිතියට අයත් වත්කම් මූල්‍යනය කිරීමෙන්  තැන්පත් කරුවන්ගේ  මුදල්  නැවත ලබාදීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ අවධානය

දෙහිවල ගල්කිස්ස (විවිධ සේවා) සමූපකාර සමිතියට අයත් වත්කම් මූල්‍යනය කිරීමෙන්  තැන්පත් කරුවන්ගේ  මුදල්  නැවත ලබාදීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12)  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මේ පිළිබඳ මෙම කාරක සභාව අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළ අතර, එම සාකච්ඡා වලදී මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම, සමූපකාර සමිතිවල වංචා දූෂණ, නිලධාරීන් විසින් ගත් අදූරදර්ශී තීරණ සහ ගිණුම් විගණනයක් නිසි කාල සීමාවලදී සිදු නොකිරීම යන  කරුණු 4 පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

මෙම රැස්වීමට පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් ගනුදෙනුකරුවන්ට ණය ලබා දී ඇත්තේ නීති විරෝධී ආකාරයට බවයි. මේ නිසා මීට සම්බන්ධ නිලධාරීන්  දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ දෙහිවල ගල්කිස්ස (විවිධ සේවා) සමූපකාර සමිතියට අදාළව පමණක් එකම පුද්ගලයාට ක්ෂණික ණය වාර 400ක් ඉක්මවා ලබා දී ඇති බවයි.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ කඩිනම් කිරීමට කටයතු කරන ලෙසයි. එබැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

එසේම දෙහිවල ගල්කිස්ස (විවිධ සේවා) සමූපකාර සමිතිය නඩත්තු කිරීමට එනම් වැටුප් ගෙවීම ඇතුළුව මාසිකව වැය වන වියදම පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසද මෙහිදී නිර්දේශ කරන ලදි.

එසේම විසඳුමක් නොමැතිව තිබූ සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් නිරාකරණය කරමින් ප්‍රායෝගික විසදුම් ලබාදීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව ක්‍රියාකාරී මැදිහත් වීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලු පාර්ශ්ව වල ප්‍රශංසාව කාරකසභාවට හිමි විය.

මෙම කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදය ගම්මන්පිල සහ ගරු කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරු සහභාගී වූහ. එසේම බස්නාහිර පළාත් සභාව, කොළඹ දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස විවිධසේවා සමූපකාර සමිතිය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න