වතු සමාගම් අනවසරයෙන් භුක්ති විදින ඉඩම් නැවත පවරා ගැනීමට වහාම නීති මගින් කටයුතු කරන්න – ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට නිර්දේශ

  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල පදිංචිය හා බුක්තිය ලබාදීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර සරල බවට පත් කිරීමට කාරක සභාවෙන් නිර්දේශයක්
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පතල් සඳහා දැනට ලබා දෙන පර්චස් 1ක භුමි ප්‍රමාණය වැඩි කිරීමට නිර්දේශ – පර්චස් එකකට අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමටත් කාරක සභාවෙන් යොජනා
  • 2010 ට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පදිංචි වූ අනවසර පදිංචි කරුවන්ට ඔප්පු ලබාදීමේ දී එය 2021 වසර ට පෙර දක්වා ලෙස දිගු කිරීමට නිර්දේශ

රාජ්‍ය වැවිලි සංස්ථාවට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදනයක් මගින් පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගානක් වතු සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කරන ලදී. ඒ අනුව වතු සමාගම් වලට නොපවරණ ලද, වතු සමාගම් බලහත්කාරයෙන් බුක්ති විඳින,ඉඩම් වහාම අත්පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශය කළේය. ඒ මහතාගේ සභාපතිත්වයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබාදෙන ලදී. මෙදින කාරක සභාව හමුවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (LRC) නිලධාරීහු කාරක සභාව හමුවට කැඳවා තිබුනි.

දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව නිදහස්ව පවතිනේ ඉඩම් අක්කර 7,000ක් පමණක් බව එම කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දන්වන ලදී. එමෙන්ම අක්කර 56,000ක පමණ අනවසර පදිංචි කරුවන් සිටින බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) සතුව පවතින ඉඩම් ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් කාරක සභාවට යොමුකරන ලෙස සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

තවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල පදිංචිය හා බුක්තිය ලබාදීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර එම ක්‍රියාවලිය සරල කිරීමට ද කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එමෙන්ම වාණිජ කටයුතු සඳහා ඉඩම් බැහැර කිරීමේ දී අදාළ නිෂ්කාශන කටයුතු වලට අය කරනු ලබන ගාස්තු ක්‍රමවේදය පිළිබඳව වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට ද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පතල් කැණීම් සඳහා දැනට ලබා දෙන පර්චස් 1ක භුමි ප්‍රමාණය වැඩි කිරීමටත් පර්චස් එකකට අයකරනු ලබන රුපියල් 40000ක බදු මුදල සංශෝධනය කිරීමටත් කාරක සභාවේ නිර්දේශය ලබා දෙන ලදී.

මේ අතර 2010 ට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පදිංචි වූ අනවසර පදිංචි කරුවන්ට ඔප්පු ලබාදීමේ දී  එය 2021 වසර ට පෙර දක්වා පදිංචි වූවන්ටද හිමිවන ලෙස අදාළ වසර සංශෝධනය කිරීමටද කාරක සභාව සිය නිර්දේශ ලබා දෙන ලදී.

වර්තමානය වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්, බදු පදනමින් ලබාදීම නතර කර ඇති බව එම කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ අනුව ආර්ථික වර්ධනයට ඵලදායි ලෙස දායක කරගත හැකි ආකාරයෙන් එම ඉඩම් තෝරාගත් මෙරට ව්‍යවසායකයින්ට ලබා දීම සඳහා අදාළ අංශ වලින් ඉල්ලීම් සිදු කරන බවද කාරක සභා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ රැස්වීම සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන, ගරු වසන්ත යාපාබණ්ඩාර යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසංක නවරත්න, ගරු වරුණ ප්‍රියන්ත ලියනගේ, ගරු රෝහණ බණ්ඩාර, ගරු නිමල් පියතිස්ස, ගරු ජගත් ප්‍රියංකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සභාගිවී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න