සේවය අතහැර යාමේ නියෝග නිකුත් කරන ලද වෛද්‍යවරුන්ගෙන් අයවිය යුතු මුදල් අය කරගැනීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී විමසා බැලේ

  • පුහුණුව හැර ගිය හෙද සිසුන් ගෙන් අයවිය යුතු ඇපකර අය  කර ගැනීම පිළිබඳවද අනුකාරක සභාවේ අවධානය

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කරන ලද වෛද්‍යවරුන්ගෙන් අයවිය යුතු මුදල් අය කරගැනීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී විමර්ශනයයට ලක් වූ අතර පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ  ඒ සඳහා මේ වන විටත් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, එම ක්‍රියාමාර්ග ප්‍රගතිශීලි තත්ත්වයක තිබෙන බවත්ය.

මේ පිළිබඳ කරුණු සාකච්ජාවූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව 2024.07.09 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විදෙස් ගතවී  වී නැවත සේවයට වාර්තා නොකළ වෛද්‍යවරුන් සංඛ්‍යාව ,එම පිරිසගෙන්  රජයට අයවිය යුතු මුදල් අයකර ගෙන තිබේද ?  එලෙස අය කරගෙන ඇති මුදල කොපමණද?  කොපමණ වෛද්‍යවරු සංඛ්‍යාවකගෙන් තවදුරටත් මුදල් අයවිය යුතුද යන්න පිළිබඳව යාවත්කාලින සහ සවිස්තරාත්මක වාරතාවක් කඩිනමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවට ලබා දෙන ලෙස අනු කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා උපදෙස් දෙනු ලැබීය. 

තවදුරටත් මුදල් අයකර ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශයට යොමු කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශය විසින් මෙම මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද සවිස්තරාත්ම වාර්තාවක් එකී අදාළ වෛද්‍යවරුන්ගේ සියලු විස්තර ඇතුළත්ව ලබා දෙන ලෙසටද  මෙහිදී පැමිණ සිටි නිලධාරීන්හට උපදෙස් ලබා දෙන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා හෙද පුහුණු පාසල් සඳහා බඳවාගත් ඇතැම් පුහුණුලාභීන් එම පුහුණුව නියමිත පරිදි  අවසන් නොකර අතහැර දමා ගොස්  තිබෙන බවත්, ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වීම සම්බන්ධයෙන් අනු කාරක සභාව අවධානය යොමුකරන ලදී.

ඒ අනුව, එලෙස පුහුණුව හැර ගිය සිසුන් අතරින් අයවිය යුතු මුදල් අයකර ගැනීමට නිත්‍යානුකුලව කටයුතු කර ඇති හෙද සිසුන් සංඛ්‍යාව, ඉදිරියේදී කොපමණ සිසුන් සංඛ්‍යාවක්  සඳහා නිත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ද සහ ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඇතුලත් වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

තවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රෝහල්, අනුබද්ධිත ආයතන වල කාර්ය මණ්ඩලයේ සේවයට පැමිණීම සහ පිටවීම   ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ  සනාථ කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලි මේන්තු මන්ත්‍රී ගරු මංජුලා දිසානායක යන මහත්ම  මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න