• සමථ මණ්ඩල සදහා යොමු වු පැමිණිලි වලින් සීයයට හැත්තෑවක් විසදීමට කටයුතු කර තිබෙනවා.
• අපේ රටේ ආණ්ඩු විසින් කළ යුතු දේ නොකරමින් නොකළ යුතු දේ කළ නිසා රට විනාශ වුණා, ඒවායෙහි ප්‍රතිඵල අපි පසුගිය කාලය තුළ දැක්කා.
                                                                                                              අධිකරණ ඇමති පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ජුලි 18 වන දිනට යෙදෙන 34 වන ජාතික සමථ දිනය නිමිති කර ගනිමින් සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ (15) සංවිධානය කර තිබු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සමථ දිනය සමරනු ලබන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථක සමථ ක්‍රමයක් පවත්වා ගෙන යනු ලබන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරින් සමථකරුවන්, එම වැඩ පිළවෙල සදහා සහාය ලබා දෙන ආසියා පදනම, බ්‍රිතාන්‍ය කවුන්සිලය, SEDER ආයතනය ඇතුළු සියලු දෙනාට කෘතවේදි විය යුතුයි. සමථකරණ සංකල්පය 1956 වසරේදී අපේ රටට හදුන්වා දුන්නත් එම ක්‍රමය ආසාර්ථක වුණා. එහෙත් 1988 නැවත වරක් මෙරටට සමථ මණ්ඩල ක්‍රමය යළිත් හදුන්වා දෙනු ලැබුවා . කිසියම් සමාජයක පැවැත්ම සදහා නීතිය හා සාමය අත්‍යවශ්‍යයි. රටක නීතිය සාමය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව බැදී සිටිනවා. නීතිය හා සාමය ආරක්ෂා නොකළහොත් ඒ රටේ ආණ්ඩුව අසාර්ථකයි. ජනතාවගේ ජීවිත හා දේපොල ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. 1931 වසරේ මෙරටට සර්ව ජන බලය හදුන්වා දුන්නා. පසුව සෝල්බරි, කෝලබෘක් , කැමරන් වැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති වුණා. 1978 ජේ. ආර්.ජයවර්ධන මැතිතුමා හදුන්වා දුන් ව්‍යවස්ථාව දැනට පවතිනවා. තවමත් අපි ඒ ව්‍යවස්ථාවෙන් බැට කමින් හිර වෙලා ඉන්නවා. රට අරාජික තත්වයට පත්වීම වැලැක්වීමට යුක්තිය නිසි පරිදි ඉටු විය යුතුයි. ඒ සදහා සාමය අවශ්‍යයි. පළමුව සාමය පවුල තුළ පැවතිය යුතුයි. පවුල තුල සාමය පවතින්නේ නම් ගම සමාජය සාමකාමී වෙනවා. ගමේ සාමය අපේ රටේ අතීතයේ තිබුණා. මිනිසා හදා රට හැදිය යුතුයි යනුවෙන් අති පුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ දේශනා කර තිබුණා. අපේ රටේ පාලකයන් උත්සාහ කළේ රට හදා මිනිසුන් හැදීමටයි. ඒ නිසා රටට වැරදුණා. සිංගප්පුරුව මැලේසියාව දියුණු රටවල් බවට පත් වුණේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ නිසයි. නීතියේ ආධිපත්‍යය පවතින රටවලට ව්‍යවසායකයින් එනවා.

අපේ රටේ ආණ්ඩු විසින් කළ යුතු දේ නොකරමින් නොකළ යුතු දේ කළ නිසා රට විනාශ වුණා. ඒවායෙහි ප්‍රතිඵල අපි පසුගිය කාලය තුළ දැක්කා. සමථකරණ සංකල්පය නිසා අධිකරණය වෙත යොමු වන නඩු ලක්ෂ ගණනින් අඩු වෙලා තිබෙනවා. සමථ මණ්ඩල ක්‍රමය නිසාවෙන් සමථකරණය වු ආරවුල් හේතුවෙන් අපේ රටේ ආරවුල් විසදී අපරාධ සිදුවීම අවම වෙලා තිබෙනවා. 2015 වසර වන විට සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ මුල්‍ය සීමාව වුණේ රුපියල් දෙලක්ෂ පනස් දහසයි. එය 2015 රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කළා. 2023 වසරේ එම මුල්‍ය සීමාව රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. පසුගිය වසර තුළ සමථ මණ්ඩල සදහා යොමු වු පැමිණිලි වලින් සීයයට හැත්තෑවක් විසදීමට කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් සමථ මණ්ඩලවලින් විසදනු ලබන පැමිණිලි සංඛ්‍යාව වන ලක්ෂයක් පමන වෙනවා. එයත් අධිකරණය වෙත යොමු වුවා නම් අධිකරණයේ නඩු ප්‍රමාණය වසරකට තවත් ලක්ෂයකින් වැඩි වෙනවා. පසුගිය කාලය තුළ අපි නීති පද්ධතිය තුළ වෙනසක් සිදු කරමින් නව අණ පනත් විශාල සංඛ්‍යාවක් සම්මත කළා. වෙනසක් අවශ්‍ය බව ප්‍රකාහ කළ අයට දශමයක්වත් වෙනසක් කිරීමට නොහැකි වුණත් අපි ඒ වෙනස කළා. නීති රාමුව ශක්තිමත් කළා. දික්කසාද සම්බන්ධ නීතීය තවදුරටත් ලිහිල් කරමින් නව නීතියක් සකස් කළා. එය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. සමථකරුවන් වන කරනු ලබන ජාතික සමාජ මෙහෙවර අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් 1990 ජුලි මස 18 වන දින ප්‍රථම සමථ මුල මණ්ඩලය ස්ථාපිත කර තිබේ. අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් සුළු ආරවුල් විසදීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ සංකල්පය හදුන්වා දී ඇති අතර, සමථ මණ්ඩල සදහා වසරකට ආරවුල් ලක්ෂ දෙකක් පමණ යොමු වෙයි.
ප්‍රජා සමථ මූල මණ්ඩල, ඉඩම් සහ මුල්‍ය පිළිබද විශේෂ සමථ මුල මණ්ඩල, පාසැල් සමථකරණ ඒකක මේ වන විට ක්‍රියාත්මක වන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සමථ මුල මණ්ඩල 329 ක් ක්‍රියාත්මක වෙයි. ඉඩම් සම්බන්ධ සමථ මුල මණ්ඩල දිස්ත්‍රික්ක 16 ක පිහිටුවා තිබේ. ඉඩම් පිළිබද සමථ මණ්ඩල තුළ සමථකරුවන් 489 දෙනෙකු කටයුතු කරනු ලබයි. විශේෂ මුල්‍ය සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මොණරාගල, අනුරාධපුර, මහනුවර හා පොලොන්නරුව යන දිස්ත්‍රික්ක තුළ පිහිටුවා ඇත.
2024 ජනවාරි මස සිට ජුනි දක්වා කාලය තුළ පැමිණි එක් ලක්ෂ දා හත් දහස් පන්සිය අසු දෙකක් යොමුව ඇති අතර, ඉන් සීයයට 70 සංඛ්‍යාවක් ආරවුල් සමථයට පත් කර තිබේ. 2024 වසර තුළ මේ දක්වා වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් යොමුව ඇති අතර එම සංඛ්‍යාව විසි හය දහස් එකසිය අනු තුනක් පමණ වේ. 2024 අංක 2 දරණ සමථ මණ්ඩල පනත තුළින් රුපියල් ලක්ෂ පහක්ව පැවති මුල්‍ය ආරවුල් විසදීමේ වටිනාකම ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, හෙක්ටර් එස් .යාපා, යන මහත්වරුන් අදහස් පළ කළ අතර, ආසියා පදනම, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා SEDER ආයතන නියෝජිතයින්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, සමථකාරවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.
වසර 25 කට වඩා කාලයක් සමථ මණ්ඩල වල සේවය කළ සමථකරුවන් ඇගයීම ද මෙහිදී සිදු විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න