අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද ( 08) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.
රටක පැවැත්මට නීතියේ ආධිපත්‍යය අවශ්‍යම කරුණක් බව අපි වටහා ගත යුතුයි. පසුගිය වසර දෙක තුන තුළ නීතියේ ආධිපත්‍යය බිද වැටීම හේතුවෙන් රටම කඩා වැටුණා. යුක්තිය පසිදලීමේ කාර්යභාරය අධිකරණ අමාත්‍යාංශයට හෝ අධිකරණයට පමණක් කරන්න බැහැ . ඊට අදාළ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතුයි. ඒ සදහා විනිසුරුවරුන්, නිතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය, අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්ය භාරයත් ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් යුක්තිය පසිදලීමේ කාර්යභාරය සදහා දායක වන හදිසි මරණ පරීක්ෂකවරුන් වෘත්තියේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි. හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේදී දේශපාලන හිවත්කම් අනුව ලබා දුන් බවට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා. නමුත් මේ වන විට එම පත්වීම් ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ඒ නිසා දේශපාලන හිතවත්කම් අනුව පත්වීම් ලැබු බවට චෝදනා එල් කරන්න බැහැ. හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම පිළිබදව සුදුසුකම් ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා. මෙම තනතුර තුළින් විශාල සේවයක් ජනතාව වෙනුවෙන් කළ හැකි බැවින් ඒ සදහා තම උපරිම කැපවීමෙන් තනතුරේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර, අතිරේක ලේකම් ( ප්‍රතිසංස්කරණ) ක්‍රිශාන්ති මීගහපොල මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න