 රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධි වරදක් ලෙස දුෂණ විරෝධි පනතට ඇතුළත් කළා.

 අපි එකිනෙකාගේ කාර්යභාරය එකිනෙකට වෙනස් වුවත් සියලු දෙනා කරනු ලබන්නේ ගෞරවණීය සේවයක් බව සදහන් කළ යුතුයි.
 අධිකරණ පද්ධතිය තුළ සිවිල් හා අපරාධ නඩු වැඩිවීමට ප්‍රධාන හේතුවක් ලෙස කූට ලේඛණ, ව්‍යාජ ඔප්පු, ව්‍යාජ අන්තිම කැමති පත්‍ර, කූට ඇටොර්නි බලපත්‍ර සකස් කිරීම හැදින්විය හැකියි.
                                                                                               අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ස මහතා පවසයි.
       
         අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති  සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ 2024 වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. (2024.07.06)
          එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
රාජ්‍ය අංශයේ පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ සිදු වන දුෂණ වංචා රටේ ආර්ථිකයට බලපානවා. අපි එම අංශයේ දුෂණ වැළැක්වීමටත් නව දුෂණ විරෝධි පනත තුළින් කටයුතු කර තිබෙනවා. ලිංගික අල්ලස අද රාජ්‍ය සේවයට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා . රාජ්‍ය සේවය තුළ වැඩි සංඛ්‍යාවක් ඉන්නේ කාන්තාවන් බව අපි දන්නවා. රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධි වරදක් ලෙස දුෂණ විරෝධි පනතට ඇතුළත් කළා. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ දුෂණ වළක්වන්න වත්කම් හා බැරකම් පාලනය සදහා නව නීති හදුන්වා දී තිබෙනවා. වර්තමානය වන විට අධිකරණ පද්ධතිය තුළ සිවිල් හා අපරාධ නඩු වැඩිවීමට ප්‍රධාන හේතුව කූට ලේඛණ, ව්‍යාජ ඔප්පු, ව්‍යාජ අන්තිම කැමති පත්‍ර, කූට ඇටොර්නි බලපත්‍ර සකස් කිරීමයි.
කොළඹ කුරුදු වත්තේ තායිලන්ත තානාපති කාර්යාල ඉඩමටත් ව්‍යාජ ඔප්පුවක් සකස් කර තිබුණා. ඒ තරමටම අපේ රටේ නීතිය අවභාවිතා වුණා. ව්‍යාජ ඔප්පු ලියන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. ඇතැම් නීතිඥයින් සහ නොතාරිස්වරුන් ඒවා සිදු කරනවා. මේ සම්බන්ධව පැවති නීතිය වසර 150 කටත් වඩා පැරණියි. එම නීති යාවත්කාලීන කිරීමට කටයුතු කලා. ව්‍යාජ ඔප්පු ලියන නීතිඥවරුන්, නොතාරිස්වරුන් සිරගතකල හැකි පරිදි ඒ නීති සකස් කර තිබෙනවා. වසරකට අධිකරණය වෙත යොමු වීමට තිබු නඩු හැත්තෑ දහසක් සමථ ක්‍රමය ශකිත්මත් කිරීම නිසා නතර වුණා. මොටර් රථ ප්‍රවාහන පත වෙනස් කළ නිසා වාර්ෂිකව අධිකරණය වෙත යොමු වන නඩු පනස් දහසක් නතර කළා. රට වර්තමානය වන විට සාමාන්‍ය තත්වයට පැමිණෙමින් තිබෙනවා. රට නිවැරදි මාර්ගයට යොමු කළ හැකි නීති පද්ධතිය සකස් කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ කටයුතු කළා .වෙනසක් අවශ්‍ය බව කිවුව ජනතාවට ඒ වෙනස කිරීම සදහා අවශ්‍ය නීති රාමුව සකස් කළා. තවත් නීති ගෙන ඒ්මට නියමිතයි. ඒ නිසා නීති රාමුව ක්‍රියාත්මක කිරීමට වගකීම සහ වගවීම තේරුම්ගත් රටට රටේ ජාතික සම්පත්වලට ආදරය කරන නායකයින් සහ ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ සදහා ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වෙනවා. අපි විශ්වාස කරනවා ජනතාව බුද්ධිමත්ව තීන්දු ගනියි කියලා.එහෙම බුද්ධිමත්ව තීන්දු නොගතහොත් නැවතත් රට ආගාධයට යනවා. යලිත් රට ගොඩ ගන්න නොහැකු වුව‌හොත් කුමන හෝ රාජ්‍යයක යටත් විජිතයක් වෙන්නත් පුළුවන්. රටට ආදරය කරන ශ්‍රී ලාංකියින් ලෙස ඔබට තෘප්තිමත් සේවයක් කිරීමට අවස්ථාව ලබා ගත හැක්කේ රට ගොඩනැගුවහොත් පමණයි. රැකියාවක් කිරීමේදී ශ්‍රමයට කාලයට සාධාරණ වැටුපක් ලැබිය යුතුයි. ඒක අධිකරණ සේවයට විශේෂයි. සාමාන්‍ය ජනතාව අධිකරණය වෙත පැමිණෙන්නේ යන්න තැනක් නොමැති නිසා බවට අපි තේරුම් ගත යුතුයි. මිනිස්සු කැමැත්තෙන් අධිකරණයට යන්නේ නැහැ. විකල්පයක් නැති තැනම ජනතාව අධිකරණයට යනවා. ඒ ජනතාවට අපි විසදුම් ලබා ගැනීමට සහාය විය යුතුයි. අවදානම් දීමනාව අධිකරණවල සේවය කරන සියලු නිලධාරීන්ට ලබාදීම පිළිබදව ඔබ ඉල්ලීම් කළා. අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් ඒ පිළිබදව සොයා බලන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබදව මා අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා තිබෙනවා. ඔබ සියලු දෙනාට සාධාරණ වැටුපක් ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඉදිරියේදී අපේ රටේ දේශපාලන වෙනස්කම් සිදු වීමට නියමිතව තිබෙනවා. ලඝු ලේකඛ සේවය අධිකරණ සේවය තුළ අවශේෂ සේවයක් ලෙස සළකන්න කාටවත් බැහැ. රෝදයක දැති වගේ විනිසුරුවරුන් නොමැතිව නඩු අහන්න බැහැ වගේම ලඝු ලේඛක සේවය නොමැතිව නඩුවක් ඉදිරියට ගෙන යන්න බැහැ. අපි එකිනෙකාගේ කාර්යභාරය එකිනෙකට වෙනස් වුවත් සියලු දෙනා කරනු ලබන්නේ ගෞරවණීය සේවයක් බව සදහන් කළ යුතුයි. ඔබ සිදු කරන ගෞරවණිය සේවය තෘප්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද අමාත්‍යතුමා සදහන් කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ දසුන් නාගස්හේන යන මහත්වරුන් ඇතුළු සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ නිලධාරීන් සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න