බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවු පඩුවස්නුවර නැගෙනහිර ප්‍රා දේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් 2023 වර්ෂය සදහා දහම් පාසැල් දරු දැරියන් වෙනුවෙන් පැවැත්වු සිසු නිපුණතා තරගාවලියේ ජයග්‍රහණය කළ දරු දැරියන් සදහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානෝත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පඩුවස්නුවර මගුලාගම, රත්මුලුකන්ද පුරාණ රාජ මහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ ( 09) පස්වරුවේ සිදු විණි.
දහම් පාසැල් දරු දැරියන්ගේ දහම් අවබෝධය වැඩි දියුණු කිරීම සදහා අධිකරණ අමාත්‍යතුමා විසින් විශේෂ දේශනයක් සිදු කරන ලදී.
මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරන්න දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. දෙමාපියන් ලෙස ඔබ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උසස් උපාධි ලබා ගන්න තත්වයට පත් කරන්වා වගේම ගුණගරුක දරුවන් බවටත් පත් කළ යුතුයි. ඉරිදා දිනය තුළ පෞද්ගලික උපකාර පන්ති පැවැත්වීම තුළින් දහම් අධ්‍යාපනය සදහා දරුවන් යොමු වීම අඩු වෙලා තිබෙනවා. එදා අපේ රටේ අධ්‍යාපනයේ මුලස්ථානය වුණේ පන්සල සහ පිරිවෙනයි. නමුත් යුරෝපීය ජාතිකයින්ගේ පාලනයෙන් පස්සේ ඒ තත්වය අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතට පත් වුණා. දරුවන්ට උගත්කම පමණක් ලබා දුන් පමණින් වැඩක් නැහැ. උගත් අය ඉන්නවා . ලබා දිය යුතු වන්නේ බුද්ධියයි. බුද්ධිමත් පුද්ගලයා සතුව ගුණගරුක බව තිබෙනවා. ගුණ ගරුක බව තුළින් මේ සමාජයට නීතිගරුක තැනැත්තන් නිර්මාණය වෙනවා. නීති ගරුක පුද්ගලයා තුළින් සමාජය නීති ගරුක වෙනවා. ඒ තුළින් සමාජය දැහැමි සමාජයක් බවට පත් වෙනවා. සෑම විටම දෙමාපියන් දරුවන් දැහැමි ගුණ ගරුක දරුවන් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. මේ බුද්ධ ශාසනය විනාශ කිරීමට විවිධ ආකාරයේ අභියෝග ආවා. පෘතුගීසින්, ඉංග්රිසින්, ලන්දේසීන් බුදු දහම විනාශ කරන්න කටයුතු කළා.
වෙසක් දිනය සැමරීම තහනම් කළා. බුදු දහම විනාශ කරන්න යුරෝපීය ජාතිකයින් උත්සාහ කරන අවස්ථාවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පානදුරාවාදය තුළින් බුදු දහම ලෝකයට ගියා. පංච මහාවාදය තුළින් බුදු දහම පිළිබදව ලෝකයාගේ නෙත් විවර වුණා.
පානදුරාවාදය තුළින් බුදු දහමේ හරය වටහාගත් ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා ගාල්ල වරායෙන් මෙරටට පැමිණියා. ගාල්ල විජයානන්ද විහාරස්ථානයේදී බෞද්ධයෙකු බවට පත් වුණු එතුමා එම විහාරස්ථානයේ මෙරට පළමු දහම් පාසැල ආරම්භ කරමින් පසුව කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාල ආරම්භ කරමින් බෞද්ධ අධ්‍යාපනයේ ප්රගමනයට විශාල මෙහෙවරක් සිදු කළා. පංච මහා වාදයෙන් ඇති වු බෞද්ධ පුනරුදය ඉදිරියට ගෙන යාමට අනගාරික ධර්මපාල තුමා කටයුතු කළා. එතුමා බුද්ධගයාව බේරා ගැනීමට කටයුතු කළා. ලෝකයට බුදු දහම රැගෙන යාමට ධර්මපාලතුමා කටයුතු කළා. එතුමා ලන්ඩන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ස්ථාපිත කලා. අද වන විට යුරෝපය පුරා බෞද්ධ විහාරස්ථාන තුන් දහසකට වඩා තිබෙනවා. 1950 වසරේ දී මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට මුලික පියවර ගත්තා. ඒ අනුව ලක්ෂමන් කදිරගාමර් මැතිතුමා 2001 වසරේදී වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් බවට පත් කළා.
2017 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම ශ්‍රි ලංකාවේ පැවැත්වීමට අපි කටයුතු කළා. ඒ සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය ආග්රාමාත්ය නරේන්ද්‍ර මොදි මැතිතුමා සහභාගි වුණා. රටවල් 74 ක බෞද්ධ නියෝජිතයින් ඒ සදහා සහභාගි වුණා. එම උත්සවයේ සමාප්තියේදී මහනුවර ප්රකාශනය මගින් ලෝකයේ බුදුද දහමේ මුලස්ථානය බවට අපි ශ්‍රී ලංකාව බවට ප්‍රකාශයට පත් කළා. එතෙක් බුදු දහමේ මුලස්ථානය වුණේ තායිලන්තයයි. අපි ශ්‍රී ලංකාව බුදු දහමේ මුලස්ථානය බවට පත් කරන්න තායිලන්තය එකග කර ගත්තා. විශේෂයෙන් දහම් පාසැල් ගුරුවරුන් නිස්සරණධ්‍යාසයෙන් අපේ රටේ දු දරුවන් ගුණ ගරුක දරුවන් බවට පත් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. ඔවුන් කරනු ලබන සේවයට ඒ අයට ප්‍රමාණවත් පිළිගැනීමක් නොමැති බව අපි පිළි ගත යුතුයි. ඒ පිළිගැනීම ලබාදීමට අපි ක්‍රියා කළ යුතූ බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
තිස්සව රජ මහා විහාරාධිපති, වයඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අති පුජ්‍ය මුගුණුවටවන සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේ , රත්මුලුකන්ද රාජ මහා විහාරාධිපති කුරූණෑගල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක හේනේගෙදර සිද්ධත්ථ නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා සිදු කළ අතර, පඩුවස්නරවු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මායා කඩවර ධම්මික ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ කථාව සිදු කළහ.
රත්මුලුකන්ද රාජ මහා විහාරයට අනුබද්ධ ශ්‍රී සුනන්ද දහම් පාසැල සත් කෝරළයේ පළමු දහම් පාසැලක් ලෙස සැළකෙන අතර, විහාරස්ථානයේ ආරම්භය උත්තිය රජ දවස සිදු වු බවට සැලකේ.
පඩුවස්නුවර ප්‍රාදේශිය ලේකම් කාර්යලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් දෙදෙනෙකුහට උපහාර පිරිනැමීම හා සමාජ සේවකයින් කිහිප දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් පිරිනැමීම ද අමාත්‍යතුමා අතින් සිදු විය.