තමා බස් රථ බෙදන විට බස් මෑන් කියමින් බෙදන එක හරි නෑ යනුවෙන් කියන බවත් තියන අයගෙන් අරගෙන නැති අයට දෙන එක වරදක් නොවන බවත් මෙවැනි විවේචන කරන අය ලෝක සවාරි ගොස් මොලය අවුල්වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වැඩසටහනක් කෙතරම් වැදගත් ද කියනවා නම් වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා සිටියදී ‘හුස්ම’ වැඩසටහන යටතේ රටට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඒ අවස්ථාවේ ලක්ෂ 150ක් වටිනා හෘද රෝගීන්ට ලබා දෙන බෙහෙතක් ආණ්ඩුවට ලබා ගැනීමට නොහැකිව තිබිය දී විපක්ෂ නායකවරයා ලෙස තමා එම බෙහෙත් රටට ලබා දුන් බවත් 76 වසරක ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය වී ඇත්තේ අධ්‍යාපනයට මුල්තැන ලබා දීම බවත් ඒ සඳහා ඕනෑ තරම් වැඩපිළිවෙළවල් තමා සතුව ඇති බවත් මේවා කියන විට වැඩ බැරි සමාජවාදීන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන විවිධාකාරයෙන් රටේ ජනතාවට බොරු තොරතුරු සපයා රටේ ලක්ෂ 220ම නැවත වරක් 2019 මෙන් රැවටීමට, ඇන්දවීමට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ඇන්දවීම්, රැවටීම් සිදු නොකර තරගයට ජනතාවට උදව් කිරීමට, රෝහල් හා පාසල්වලට උදව් කිරීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් එමඟින් වාසිය ලැබෙන්නේ රටේ ජනතාව බවත් එම නිසා තරගයට රට වැඩ කිරීමට එන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර කැකිරාව පලාගල මනේරුව මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 200 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රට බංකොලොත් වී ඇති මොහොතක කියන දේවල් කරන්නේ කොහොමද කියා ප්‍රශ්නයක් පැන නැගිය හැකි බවත් ඔවුන්ට කියන්න ඇත්තේ 76 වසරක ඉතිහාසය තුළ බලයක් නොමැතිව රටට වැඩක් කළ එකම විපක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස පවා ආරම්භ කළේ අරගලයට පෙර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංහල පමණයි දමිළ පමණයි කියන අයගේ දරුවන් යන්නේ සුපිරි පාසල්වලට

තමා මේ සිදු කරන්නේ සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්ද එකතු කර ගැනීම නොවන බවත් දේශානුරාගය, ජාත්‍යාලය උපයෝගී කර ගෙන ඡන්ද මලු ගොඩ ගසා ගැනීම නිසා 41 ලක්ෂයක් පාසල් දූදරුවන් අසරණ වී ඇති බවත් එසේ සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්ද මල්ල ගොඩ දා ගන්නා දේශපාලනඥයන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වලට පෞද්ගලික පාසල්වලට ගොස් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කර ඉහළ තැන්වලට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව හොරකම වංචාව නැහැ

සමගි ජන බලවේගය තුළ කිසිදු හොරකමක්, වංචාවක් නොවන බවත් සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඒ නිසා බවත් ඒ වැඩපිළිවෙළම ඒ විනිවිදභාවයම සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දේශපාලනඥයන්ගේ සුරසැප ජීවිත සජබ රජයක් තුළ අවසන්

අපේ රටේ ලොක්කෝ පුරවැසියන්ට කැපකිරීම් කරන ලෙස පවසා ඔවුන් මාලිගාවල සුරසැප විඳින බවත් මේ දේශපාලනඥයෝ ගත කළ මාළිගා ජීවිත සමගි ජන බලවේග රජයක් තුළ අවසන් බවත් ඇමතිකම් ගන්නවා කියන්නේ වරප්‍රසාද ලබා ගැනීම නොව කැපකිරිම් සිදු කර ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු බවත් එය තමාගේ නායකත්ව ආකෘතිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාද කැපවීමෙන් අධිශ්ඨානශීලීත්වයෙන්, උනන්දුවෙන් රට වෙනුවෙන් වැඩ කර ආදර්ශය ලබා දෙන අතරතුර එය අනුගමනය කරන ලෙස අන් අයටද කියා සිටින බවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පවා ප්‍රකාශ කළේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල 200 ගෞරවය මට විතරක් අයිති නැහැ

2021 දෙසැම්බර් 30 වැනිදා සක්වල සුහුරු පන්ති කාමර උපකරණ වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ බෝදාගම විද්‍යාලය කේන්ද්‍ර කර ගෙන ආරම්භ කළ මේ ගමන අද වන විට 200 වැනි අදියර දක්වා ගමන් කර ඇති බවත් එහි ගෞරවය තමාට පමණක් නොව මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දුන් සියලු දෙනාටම හිමිවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 200 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2220ක් වැය කර තිබේ.

NEWS CLIP ⭕️ https://youtu.be/OnxewYwxqko?si=Uv3ZhZnbXbaUnZOW

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න