චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද ( 30) පෙරවරුවෙි සිදු කෙරිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් කරන ලදී.
චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2023 අප්‍රේල් මස 23 වන දින යුවාන් මිලියන 240 ක මුදලක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදු කළද ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සදහා නිශ්චිතවම වැය කිරීමට නියමිතව ඇති මුදල යුවාන් මිලියන 229 ක් වේ. ඒ අනුව වැය කිරීමට නියමිතව ඇති යුවාන් මිලියන 229 ක මුදල වෙනුවෙන් වු ගිවිසුම අත්සන් කිරීම සිදු කරන ලදී.
ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව, අධිකරණ අමාත්‍යතුමා, චීන තානාපතිවරයා ඇතුළු චීන රජයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේද පැවසීය.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අභියෝගවලට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීන රජය ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි. ශ්‍රි ලංකාව සහ චීනය අතර ද්වී පාර්ශ්වික සබදතාවය ඉතා දිගු කාලින මෙන්ම එය සාර්ථක සබදතාවයක් බව කිව යුතුයි. 1960 වසරේ දී මෙරට අග්‍රාමාත්‍යතුමිය වු ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ පාලන කාලය තුළ දෙරට අතර සබදතාවයන් තවදුරටත් තහවුරු කරමින් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නා.
ඒ වගේම කොළඹ ජාතික රෝහල සදහා ගොඩනැගිලි සංකීර්ණයක් ලබාදීමට චීන රජය කටයුතු කළා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2016 වසරේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය තුළ චීන ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි පොලොන්නරුව වකුගඩු රෝහල ලබාදීමට චීන රජය කටයුතු කලා. 1988 වසරේදී චීන රජයේ තාක්ෂණික හා මුල්‍යමය ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණය මෙරටට ලබා දුන්නා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු 2023 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කළා.
කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය ඇති වු අවස්ථාවන්වපල මෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකම චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ස්තුතිය චීනයට පළ කරනවා. මෙරට අධිකරණයේ ස්වාධිනත්වය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා උපරිමාධිකරණය ප්‍රතිසංස්කරණය කරමින් ලබා දුන් සහයෝගය අගය කළ යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අදහස් පඛ කරමින් මෙසේ පැවසීය.
1988 වසරේ උපරිමාධිකරණ සංකීර්ණය චීනය විසින් මෙරටට ලබාදීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයන්හි සුවිශේෂි සංධිස්ථානයක් ලෙස හදුන්වා දිය හැකියි. මේ වන එහි ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක සිදු කරමින් පවතිනවා. කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමට, ආර්ථික අර්බුදයෙන් අත් මිදීමට මෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා ද චීනය ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දුන්නා. උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සාර්ථකව සිදු කරමින් ඉතා විශිෂ්ඨ කාර්යක්ෂම අධිකරණ සේවාවක් ලබා දීම සදහා සහාය වීම අපේක්ෂාව බව ද තානාපතිවරයා පැවසීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කරන ලදී.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් 1988 වසරේදී චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස ඉදි කර ශ්‍රී ලංකා රජයට භාර දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී තිබේ.
අදියර දෙකක් යටතේ මාස 32 ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කෙරේ.
2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරන ලදී. 2012 වසරේ උපරිමාධිකරණ සංකීර්ණයේ වහල, ආරක්ෂක කුටි, ජලනල පද්ධතිය, විදුලි පද්ධතිය ඇතුළු බාහිර අලුත් වැඩියා කටයුතු සිදු කර ඇත.
නවීකරණයේදී ගොඩනැගිලිවල මුල් පෙනුම ආරක්ෂා කර ගැනීම හා අධිකරණ සංකීර්ණයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි සිදු කරන අතර, 2024 අප්‍රේල් 30 වන විට නවීකරණ කටයුතුවලින් සීයයට 35 ක් අවසන් කර තිබේ. 2023 අප්‍රේල් මාසයේදී ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ලේකම් Geng Zichao , උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති උපදේශක Lu Xiaoxu , අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුල් පිටුව අධිකරණ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමට අත්සන් තැබේ.