 ජනතාව ජාතිවාදී ආගම්වාදී නැහැ. ඒ අයට අවශ්‍ය ජාතික හා ආගමික සමගියයි. ඇතැම් දේශපාලඥයින් අපේ ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කළා.

 ඇතැම් දේශපාලඥයින්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්ම පසුගිය කාලය තුළ ජනතාවට දේශපාලනය එපා වුණා.
                                              අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලත් විදුහල්පතිවරුන්, දහම් පාසැල් ගුරු භවතුන්, රෙජිස්ටාර්වරුන්, වතු නිලධාරීන්ට හා සමාජ සේවකයින් හට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් කොටගල කුඩාගම GRAND MAHARAJ හොටලයේදී ඊයේ පස්වරුවේ ( 25) සිදු කෙරිණි.
කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පී. රාධ ක්‍රිෂ්ණන් මහතාගේ නිර්දේශය මත සමාජ සේවකයින් 330 දෙනෙකු හට සාමදාන විනිසුරු පත්වීම් ප්‍රදානය සිදු කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි පී. රාධ ක්‍රිෂ්ණන් මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් තමිල්මාරන් ජනාර්ථ මහතාගේ මැදිහත්වීමෙන් උත්සවය සංවිධානය කර තිබුණී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පොදු ජනතාවට අවශ්‍ය ලිපි ලේඛණ සහතික කර ගැනීමේදී දිස්ත්‍රික්කය තුළ ප්‍රමාණවත් ලෙස සාම විනිසුරුවරුන් නොමැතිවීම හේතුවෙන් ඇතිව තිබෙන දුෂ්කරතා අවම කරවීම සදහා
සාම විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඇමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අපේ රටේ ආර්ථිකයට වසර දෙසීයක පමණ කාලයක් සිට වතුකරයේ ජනතාව ලබා දුන් දායකත්වය අපි අගය කළ යුතුයි. රටේ කුමන ආකාරයේ ගැටළු පැවතුනත් වතුකරයේ ජනතාව විශාල දායකත්වයක් ලබා දුන්නා.
ඒ සියලු දෙනාට අපි ගෞරව කරනවා. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාධ ක්‍රිෂ්ණන් මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන ආදර්ශමත් නායකයෙක් බව සදහන් කළ යුතුයි. රාධ ක්‍රිෂ්ණන් මැතිතුමාත්, අපිත් දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙනුයි. එතුමාගේත් මාගේත් දේශපාලන ප්‍රතිපත්ති එක හා සමානයි. එහෙත් වර්තමානයේ දේශපාලඥයින්ට විවිධ ආකාරයේ චෝදනා තිබෙනවා. ඒ වගේම සාමදාන විනිශ්චයකාර පත්වීම් ලබන අය පිළිබදවත් විවිධ චෝදනා පවතිනවා. එහෙත් අපි සාම විනිසුරු පත්වීම් ලබා දෙන්නේ සුදුසුකම්ලත් අයට පමණයි.
ලෝකයේ තිබෙන ප්‍රශ්නවලට සීයයට අසුවක් පමණ  හේතුව සුදුසුකම් නොමැති පුද්ගලයින්ට තනතුරු ලබාදීමයි. අපි වසර තිහක යුද්ධයේ අත්දැකීම් දැක්කා. 88-89 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය අපි දැක්කා. නැවත එවැනි යුගයකට අපි යා යුතු නැහැ. අපි දේශපාලනය කළ යුත්තේ ජනතාව වෙනුවෙනුයි. කදුරට ජනතාවට ඉඩම් ප්‍රශ්න තිබෙනවා. වැටුප් පිළිබදව ගැටළු තිබෙනවා. වතුකරයේ ජනතාවට වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළා .ඒ පිළිබදව විවිධ ගැටළු පවතිනවා. ඒ සදහා විසදුම් ලබා දෙන්න කටයුතු කරනවා.
පසුගිය ජනවාරි මාසය තුල නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අපි ජංගම සේවයක් ක්‍රියාත්මක කළා. ජාතික හැදුනුම්පත් නොමැති දෙදහසක් පමණ හැදුනුම්පත් ලබා ගත්තා. උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් දස දහසක් උප්පැන්න සහතික ලබා ගත්තා. උතුරු පළාතේ පැවති ජංගම සේවය තුළින් දො‌ළොස් දහසක් පමණ උප්පැන්න සහතික ලබා ගත්තා. රටක නීතීය පාලකයාටත් ජනතාවටත් එකම ආකාරයට විය යුතුයි. අද දේශපාලඥයින් අල්ලස් ලබා ගන්නවා දුෂිතයි කියලා විශාල  චෝදනා පවතිනවා. ඇතැම් දේශපාලඥයින්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්ම පසුගිය කාලය තුළ ජනතාවට දේශපාලනය එපා වුණා. අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීම දේශපාලඥයින් සතු වගකීමයි. යුතුකමයි. හොරකම දුෂණය වංචාව නැති කිරීම සදහා නව නීති සම්පාදනය කර තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නැංවීමට අවශ්‍ය නීතිමය වටපිටාව අපි සකස් කළා. වෙනසක් කිරීමට කථා කළ අයට වඩා අපි වචනයෙන් එය කළා. මේ රට යහපත් දේශයක් බවට පත් කරන්න අපි ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. අපේ රටේ ග්‍රාමිය වශයෙන් ජීවත් වන ජනතාව ජාතිවාදී ආගම්වාදී නැහැ. ඒ අයට අවශ්‍ය ජාතික හා ආගමික සමගියයි. ඇතැම් දේශපාලඥයින් අපේ ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කළ බවත්, එවැනි තත්වයන් තුරන් කිරීමට ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි පී. රාධ ක්‍රිෂ්ණන් මහතා  අදහස් පළ කරමින් මෙසේ පැවසීය.
වත්මන් අධිකරණ අමාත්‍යතුමා මේ රටට අවශ්‍ය නව නීති විශාල සංඛ්‍යාවක් සම්මත කළා. ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රශංසාව පළ කරනවා. ඔබතුමා මේ රටට අවශ්‍ය කරන නායකයෙක් බව සදහන් කළ යුතුයි. ඔබතුමාට අපේ පුර්ණ සහයෝගය පළ කරනවා. ඔබතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කළත්, අපි විපක්ෂය නියෝජනය කළත්, ඔබතුමා මාගේ ඉල්ලීම පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීමට කටයුතු කළා. ඔබතුමාගේ හිත පිරිසිදුයි.
ඒ නිසා අපි ව්පක්ෂයේ හිටියත් අපේ ඉල්ලීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතරින් නියම ආකාරයට අදහස් දක්වන එකම මන්ත්‍රිවරයෙකු ලෙස මා ඔබතුමා දකිනවා. කදුරට ජනතාව වෙනුවෙන් ඔබතුමා කරන ලද සේවය අගය කරනවා. තවදුරටත් මේ රට. ජනතාවට වඩ වඩාත් උත්කෘෂ්ට සේවාවක් ලබාදීමට ඔබතුමාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද හෙතෙමෙ සදහන් කළේය.
කදුරට ජනතා පෙරමුණේ ලේකම්, විජය චන්ද්‍රන්, හිටපු පළාත් සභා මන්ත්‍රි රාම් රාම් යන මහත්වරුන් ඇතුළු කදුරට ජනතා පෙරමුණේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න