2024 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9200 ක් වාර්තා වී තිබේ. ඒ අනුව පිරිමි රෝගීන් 5291 ක් වන අතර ගැහැනු රෝගීන් ගණන 3259 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත සමීක්ෂණවල සඳහන් වේ.

පසුගිය  වර්ෂයේ දී මෙරටින් වාර්තා වූ ළමා ක්ෂය රෝගීන් ගණන 250 අතර  කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙති.

2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය සියයට 90 කින් අඩු කර ගැනීම සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය සියයට 95 කින් අඩු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්ක වී තිබේ.

දිවයින පුරා රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාපිත කර ඇති ලය සායන 26 ක්, සෙම පටල පරීක්ෂා කරන මධ්‍යස්ථාන 160 කට වැඩි සංඛ්‍යාවක් ශාඛා සායන 108 ක් මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලයේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සලසා ඇත.

මෙම මධ්‍යස්ථාන වෙත යොමු වීමෙන් තමන් ක්ෂය රෝගියෙකු ද යන්න කල්තියා හඳුනා ගත හැකි අතර ඒ අනුව ප්‍රතිකාර සදහා යොමුවීමේ හැකියාව ලැබෙනු ඇත.

නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය නිට්ටාවට සුව කර ගත හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. දිවයින පුරා ස්ථාපිත ලය රෝගී පරීක්ෂණ ස්ථාන සහ සායන මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ අඛණ්ඩ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේවන විට දියත් කර තිබේ.

සෑම වර්ෂයකම මාර්තු මස 24 දිනට යෙදි තිබිණි. ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැක. කැප වෙමු ආයෝජනය කරමු සේවා සපයමු තේමා කර ගනිමින් මෙවර ලෝක ක්ෂය රෝග දිනය මෙරට සමරනු ලැබී ය.

බෝවන රෝග සැලකිල්ලට ගත්විට බැක්ටීරියා මගින් බෝවන රෝග අතරින් වර්තමානය වන විට ලෝකයේ වැඩිම මරණ ප්‍රමාණයක් ක්ෂය රෝගයෙන් සිදු වන බව හඳුනාගෙන තිබේ.

ඖෂධ ප්‍රතිරෝධී තත්ත්වයන් සිදුවන බැවින් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් රටක් ලෙස අපිට ද  විශාල පිරිවැයක් ඒ වෙනුවෙන් දැරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙති.

සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින කැස්ස මද උණ ශරීරයේ බර අඩුවීම ආහාර අරුචිය රාත්‍රියට දහඩිය දැමීම අධික තෙහෙට්ටුව හතිය කහින විට ඇතිවන පපුවේ වේදනාව සෙම සමඟ ලේ පිටවීම ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වේ. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය නිට්ටාවට සුවකර ගත හැක.

1882 මාර්තු 24 වන දින වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium Tuberculosis බව ප්‍රකාශ කිරීමත් එය සැමරීම පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

ක්ෂය රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (Mycobacterium Tuberculosis) නම් බැක්ටීරියාව මගින් වැළදේ.

රෝගියෙකු කසින කිවිසින විට වාතයට මුසුවන සෙම බිඳිති මගින් ආශ්වාසය හරහා රෝගය වැළදේ. බැක්ටීරියාව ශරීර ගතවන සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු නොවන අතර රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කාලයක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව රෝගය වැළදෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න