අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ නිර්දේශය අනුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ලබාදී ඇති ජනාධිපති විශේෂ සමාව යටතේ නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවියන් 1004 දෙනෙකුට නිදහස ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් නිදහස් වු අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද එක් විය.
දිවයින පුරා පිහිටි බන්ධනාගාර විසි නවයකින් රැදවියන් නිදහස් ලැබු අතර, ඒ අනුව මාස එකේ සමාව ලබාදීම හේතුවෙන් රැදවියන් 149 දෙනෙකුට නිදහස හිමි විණි.
ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත රැදවියන් 487 දෙනෙකුට සහ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් ගෙවා අවසන්වීම මත රැදවියන් 368 දෙනෙකු නිදහස ලැබුණි.
වැඩිම රැදවියන් සංඛ්‍යාව පල්ලේකැලේ බන්ධනාගාරයෙන් නිදහස් වු අතර එම සංඛ්‍යාව රැදවියන් 162 කි.
වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 42 දෙනෙකු නිදහස ලැබීය.
ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ කාන්තා රැදවියන් 15 දෙනෙකු නිදහස ලැබීමට නියමිතව ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න