- • පරාටේ නීතිය පිලිබදව විශාල සංශෝධනයකට ගොස්, පරාටේ නීතිය පිළිබදව නව පනතක් ගෙන එනවා.
- • ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කලා නම්සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙහෙම වෙන්නේ නැහැ.
- • රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ
දේපල සහ වත්කම් බැංකු සහ මුල්‍ය ආයතන උකස් කර හෝ ඇපයට තබා සිය ව්‍යාපාරික කටයුතු කර ගෙන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව රටේ ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව බරපතල ගැටළු රැසකට මුහුණ දුන් අතර, සිය වත්කම් ඇපයට තබා ණය ලබා ගත් දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්ට එම මුදල් පියවීමට නොහැකි වීම නිසා බැංකු සහ මූල්‍ය ආයතන පරාටේ නීතිය යටතේ එම දේපල එකී ආයතන වෙත පවරා ගැනීමට කටයුතු කරන ලදී. තවත් දේපොල පවරා ගැනීමට කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව මේ වන විට මුහුණ දී සිටින පරාටේ නීතිය යටතේ සිය වත්කම් සහ දේපල පවරා ගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට කිසියම් නීතිමය රැකවරණයක් ලබාදීම අරමුණු කර ගනිමින් පරාටේ නීතියට යටතේ දේපොළ අත්පත් කර ගත් හා අත්පත් කර ගැනීමට නියමිත ව්‍යාපාරිකයින්ගේ එකමුතුව විසින් විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැති මෙම සාකච්ඡාව සදහා පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විසින් පරාටේ නීතිය අහෝසි කළ යුතු බවට වු යෝජනාවක් සම්මත කර ගැනීම කරන ලදී.
1990 දී සම්මත කරන ලද අංක 04 දරණ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට හෝ අවම වශයෙන් 2019 වසරේ මෙම අර්බුදයන් ඇතිවීමට පෙර තිබු ආර්ථික වර්ධන වේගය වන සීයයට 4.5 ක වර්ධන වේගයට ආර්ථික වර්ධනයට රට පත් වන තෙක් හෝ මේ නිතිය තාවකාලිකව අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සදහන් කලේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී සිටින තත්වය පිළිබදව අපි කණගාටු වෙනවා. මේ රටේ ක්‍රියාත්මක වන බැංකු පද්ධතිය සම්බන්ධයෙන් කථා කරන්න වුණේ රට බංකොලොත් වු නිසයි. මේ රට ගොඩ නගන්න නම් කෘෂි කර්මාන්තයට, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මුල් තැන ලබා යුතුයි.
අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මීට පෙර අවස්ථා දහසයකදී ණය ලබා ගෙන ඒවා සේවා අංශය පුළුප් කිරීමට යොදා ගත්තා. දා හත් වන වරටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රැවටීමේ හැකියාවක් නැහැ. ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් ලෙස ආරම්භ කිරීමේ පරමාර්ථය වුණේ කර්මාන්ත දියුණු කිරීමටයි. මහජන බැංකුව ආරම්භ කිරීමේ මුලික අරමුණ වුණේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමයි. මහජන බැංකුව සහ ලංකා බැංකුව ආරම්භ කිරීමේ මුලික අරමුණුවලින් බැහැරව ඔවුන් පෞද්ගලික බැංකු සමග ලාභය ඉපයීම පරමාර්ථය කර ගනීම සිදු කළා. රටක පැවතිය යුත්තේ බැංකු ක්‍රම දෙකයි. ඒ සංවර්ධන බැංකු හා වාණිජ බැංකු පමණයි. අපේ රටේ තිබෙන්නේ ඔක්කොම වාණිජ බැංකුයි. 2020 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වු පසු මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට විශාල වශයෙන් බදු සහන ලබා දුන්නා. පොහොර ප්‍රශ්නය නිසා කෘෂි කර්මාන්තය කඩා වැටුණා. අපේ රටේ ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරිමාර්ථ අනුව කටයුතු කලා නම් මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙහෙම වෙන්නේ නැහැ.
මහ බැංකුව මූල්‍ය පාලනය පිළිබදව නිවැරදි තීන්දු අර ගෙන තිබෙන්නේ ඉතාම කලාතුරකින් බව කිව යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයින් විදේශිය රටවල රදවා ගෙන සිටින ඇමරිකානු ඩොලර් බිලියන 52 ක මුදල සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. අපේ රටේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පිළිබදව විශාල වශයෙන් විවේචන පවතිනවා. රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ. ඒ කාලයේ පරාටේ නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුවට හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පමණයි. නිදහස් ආර්ථිකය සමග මූල්‍ය ආයතන හා බැංකු හතු පිපෙනවා වගේ ඇති වුණා. මේ පරාටේ නීතිය අවභාවිතා වෙනවා. පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ දේපොලවල අයිතිකරුවන් බවට ඇතැම් බැංකුවල ප්‍රධානීන්ගේ ඥෘතීන් පත් වුණා. බැංකු පද්දතියත් ආරක්ෂා වෙන්න ඕන. ගනුදෙනුකරුවන් ශක්තිමත් වුවහොත් පමණයි බැංකු පද්ධතිය ශක්තිමත් වෙන්නේ. බැංකුවල ප්‍රශ්නය, විදුලි බිල්, බදු ප්‍රතිපත්තිය, නිසා ව්‍යාපාරිකයින් මත විශාල පීඩනයක් එල්ල වෙලා . මේ රටේ පැවති කිසිදු රජයකට බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ නිසාම ව්‍යාපාරිකයින් ආයෝජන කරන්න කැමති නැහැ. පරාටේ නීතිය පිළිබදව තීරණයක් ගන්න වෙනවා. මේ නීතිය සම්බන්ධයෙන් විශාල සංශෝධනයකට යා යුතුයි. ඒ සදහා නිර්දේශ සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවේ පනත සම්මත කර පරාටේ නීතිය පිළිබදව නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කලේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් පළ කරමින් මෙසේ පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී සිටින ගැටළු පිළිබදව හොද වැටහීමක් අපට තිබෙනවා. රටක් ලෙස ව්‍යවසායකයින් ඛේදවාචකයට මුහුණ දීලා. මෙම තත්වය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වන ඔබ විසින් නිර්මාණය කළ ප්‍රශ්නයක් නොවෙයි. පරාටේ නීතියට විරාමයක් වසර දෙකකට හෝ ලබාදී ඔබට සහායක් වෙන්න අමාත්‍ය මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න කටයුතු කරනවා. මේ රටේ ව්‍යවසායකයා ආරක්ෂා නොකළහොත් ස්ථාවර ආර්ථිකයක් ගොඩ නගන්න බැහැ. අපි එය වටහා ගත යුතුයි. බැංකු පද්ධතිය හා ව්‍යවසායකයා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කළ යුතු බව ද රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.
ජනාධිපති නීතිඥ, මයුර ගුණවංශ මහතා අදහස් පළ කරමින් සදහන් කළේ පරාටේ නීතිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දැඩි පීඩනක් ලබා දී ඇති බවයි. 1990 පැවති රජය විසින් 1990 අංක 04 දරණ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත මගින් දේපොල ඇපයට තබා ලබා ගත් ණය සම්බන්ධව අධිකරණයට තිබු බලය පරාටේ නීතිය යටතේ බැංකු පද්ධතිය වෙත ලබා දීම කළා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මේ රටේ කොදු නාරටිය යැයි ප්‍රකාශ කරමින් රජය විසින් ඔවුන් විනාශ කර තිබෙනවා. පරාටේ නීතියෙහි පවතින දැඩි බව ලිහිල් කළ යුතුයි. මෙම නිතිය යටතේ දැනට අත්පත් කර ගෙන ඇති දේපොල සම්බන්ධයෙන් මහ බැංකුව ක්‍රියා කළ යුතු බවද හෙතෙම සදහන් කලේය.
සිය දේපොල උකස් කර බැංකු මගින් ණය ලබා ගෙන ඇති ව්‍යවසායකයින්ට ඇති ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දුන් අතර එහිදි දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සිටි ව්‍යවසායකයින් සිය ගැටළු ඉදිරිපත් කරන ලදී.
ඉදි කිරීම් කර්මාන්ත සභාවේ සභාපති, දේශබන්ධු සුසන්ත ලියනාරච්චි, දේශිය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා, ද සිල්වා පුද්ගලික සමාගමේ සභාපති, එස්.එන්.රාඝවන් යන මහත්වරුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී සිටින අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදී.
ලංකා වෙළද සංගමයේ උප සභාපතිනී ශසිකා ද සිල්වා මහත්මිය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයින් මුහුණ දී සිටින ගැටළු හා අදහස් ඉදිරිපත් කිරීම මෙහෙය වු අතර කොවිඩ් වසංතය සමයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් තත්වය අවබෝධ කර ගනිමින් බැංකු වෙතින් ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක සහන කාලයක් ලබාදීමට අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා මැදිහත්ව කටයුතු කල බවත්, පරාටේ නීතිය හේතුවෙන් ව්‍යවසායකයා මුහුණ දී සිටින ගැටළුව සදහා නියත වශයෙන්ම අමාත්‍යතුමා මැදිහත්ව විසදුම් ලබා දෙන බවට විශ්වාස බවත් ඇය සදහන් කළාය.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට යෝජිත ණය මුදල ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු හරහා බෙදා හැරීමට නියමිත බවත්, දැනට අසාදුගත වී ඇති ව්‍යාපාරිකයින්ට එම මුදල් ලබා නොදන බවට මහා බැංකුව නිලධාරීන් කළ ප්‍රකාශය ගැනද මෙහිදි අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ව්‍යාපාරිකයන් විසින් අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදී. පාස්කු ප්‍රහාරය හෝ කොවිඩ් වසංගතය තමන්ගේ වරදින් සිදු වු දෙයක් නොවන අතර, රට බංකොලොත් බවට මහ බැංකුව නිවේදනය කිරීමත් සමග තමන්ට මුහුණදීමට සිදු වු මේ ඛේදවාචකය පිළිබදව සලකා බලා තාවකාලිකව හෝ අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලා සිටියහ.
මේ වන විට ව්‍යාපාරිකයින්ට අයත් දේපල 4000 කට ආසන්න ප්‍රමාණයක් බැංකු සහ මුල්‍ය ආයතන පවරා ගෙන ඇති බව ද දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙරට දළ දේශිය නිෂ්පාදිතයට සීයයට 50 ත් 52 ත් අතර දායකත්වය ලබා දෙන බව හා 2023 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ මේ නීතිය හේතුවෙන් ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොල 1183 ක් පවරා ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
පසුගිය වසර කිහිපය තුළ හාර දහසකට ආසන්න දේපොල ප්‍රමාණයක් පරාටේ නීතිය යටතේ බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගෙන තිබේ. පරාටේ නීතිය හේතුවෙන් 1400 ක පමණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් අගතියට පත්ව තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී ඇති ගැටළු ඇතුළත් සංදේශයක් මෙහිදි අමාත්‍යවරුන් වෙත පිළි ගැනීම ද සිදු විය.