 දේශපාලඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරනවා
 ළමයින්ට සිදු වන අසාධාරණ නිසා ලෝකයා ඉදිරියේ අපේ රට අපකීර්තීයට පත් වෙලා.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ටී. ෆිල්ඩ් වයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ළමුන් හා තරුණ තරුණියන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩ සටහනක් නානුඔය ඩේස්ෆොඩ් වත්ත වතු යායේදී අද (16) පෙරවරුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වතු ආශ්‍රිත ලමුන්, තරුණ තරුණියන් පොදුවේ මුහණ දෙන ගැටළු ඔවුන් විසින් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර, ඒ සදහා අධිකරණ අමාත්‍යාංශයේ හා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර විසදුම් ලබාදීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
වතු ආශ්‍රිත තරුණ තරුණියන්ට පවතින රැකියා ගැටළු, වතු ආශ්‍රිත මාර්ග පද්ධතිය අබලන්ව පැවතීම, අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ ගැටළු, වතු නිවාස ආශ්‍රිත ප්‍රශ්න, වතු නිවාස ආශ්‍රිතව පවතින සනීපාරක්ෂක ගැටළු, භාෂාමය වශයෙන් පවතින ප්‍රශ්න හා පාසැල් යාම අතරමග නතර කරන ළමුන් මුහුණ පාන ගැටළු ආදිය පිළිබදව එම තරුණ තරුණියන් කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
රජයක් ලෙස රටේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටළු පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන් විෂ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වෙලා. ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල් සංස්ථාව විනාශ වෙලා. ඇතැම් නගරවල තරුණ තරුණියන් දුරාචාරයන්ට යොමු වෙලා. ආර්ථික ප්‍රශ්න, විරුකියාව හේතුවෙන් ගැටළු ඇතිව තිබෙනවා. එවැනි සමාජ වටපිටාවක් සහිත පරිසරයක මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් සමස්ත සමාජයම යහපත් මාර්ගයට ගැනීම සදහා ගෙන යන වැඩ පිළිවෙළ අගය කළ යුතුයි. අපේ රටේ දරුවන්ට දක්ෂතා පවතිනවා. ඒ දක්ෂතා ඉස්මතු කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා නැහැ. සියලුම තරුණ ළමුන්ට තමන්ගේ භාෂාවට අමතරව ඉංග්‍රිසි භාෂාව පිළිබදව දැනුම අවශ්‍යයි. ඉංග්‍රිසි භාෂාව නොමැතිව සමාජයේ ඉදිරියට යාමේ හැකියාවක් නැහැ. තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට අවබෝධයක් බොහොමයක් දෙමාපියන්ට නැහැ.
වත්මන් රජය පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සදහා රජයට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට ළමුන්ගේ සහජ දක්ෂතා ඔප් නැංවෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින අපේ රටේ දරුවන්ගෙන් විශ්ව විද්‍යාල වරම් හිමි වන්නේ සීමිත සංඛ්‍යාවකට පමණයි. විශාල පිරිසකට විශ්ව විද්‍යාල වරම් අහිමි වෙනවා. අපි ඒ දරුවන්ගේ අනාගතය පිළිබදව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ඔවුන්ටත් උසස් අධ්‍යාපන වරම් ලබා ගත හැකි වටපිටාවක් සකස් කළ යුතුයි. දක්ෂතාවයට අවස්ථාව හිමි වන පරිදි වැඩ පිළිවෙළක් නව අධ්‍යාපන ක්‍රමය තුළින් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. දේශපාලඥයන්ගේ ලියුම් වලින් රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරනවා. ගමෙහි සංහිදියාව වැඩි දියුණු කර ගමේ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරමින් සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජාතික සංහිදියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. එම කමිටු සදහා පාර්ලිමේන්තු පනතක් තුළින් නීතිමය බලය ලබා දෙනවා. ප්‍රාදේශිය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග සෘජුව සම්බන්ධවීමේ නීතිමය බලය සංහිදියා කමිටු සදහා ලබා දෙනවා. අපේ රටේ ළමයින්ට සිදු වන අසාධාරණ නිසා ලෝකයා ඉදිරියේ අපේ රට අපකීර්තීයට පත්ව තිබෙනවා. මහ ජනතාවට නීතිමය ලේඛන සම්බන්ධව පවතින අවශ්‍යතා සම්පුර්ණ කරදීම සදහා උතුරු නැගෙනහිර පළාත් මුලික කර ගනිමින් විශේෂ වු ජංගම සේවා වැඩ සටහනක් ආරම්භ කළා. එය මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළා. එම ජංගම සේවා වැඩ සටහන දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සියලු ජනතාවට පවතින නීතිමය ලේඛන සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, ඩේස්ෆොඩ් වත්ත වතු අධිකාරී වෙනුර පැල්පොල,ටී ‌ෆීල්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ නිලධාරීන්, වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න