* ක්ෂද්‍ර මුල්‍ය ආයතන පාලනය කරන්න වෙනම ආයතනයක් ඇති කළ යුතුයි, මහ බැංකුවට ක්ෂද්‍ර මුල්‍ය ආයතන පාලනය කරන්න බැහැ. ඒ සදහා නව නීතියක් සම්පාදනය කළ යුතුයි.
* මෙරට අධිකරණවල නඩු එකොළොස් ලක්ෂ හාර දහස් අසු හතක් පමණ පවතිනවා.
* අල්ලා ගනු ලබන මත් ද්‍රව්‍ය නැවත වෙළදපොලට පැමිණිමේ ගැටළුවට විසදුම් ලෙස නව නීති සකස් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කෙන්ද්‍රෙය් අද (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
අධිකරණවල පවතින නඩු ප්‍රමාදය මේ වන විට බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මෙරට අධිකරණවල නඩු එකොළොස් ලක්ෂ හාර දහස් අසු හතක් පමණ පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5680ක්, අභියාචනාධිකරණයේ නඩු 4052 ක් , සිවිල් අභියාචනාධිකරණයේ නඩු 6168 ක් , වාණිජ මහාධිකරණයේ නඩු 8363 ක්, මහාධිකරණයේ නඩු 28000 ක්, දිසා අධිකරණයේ නඩු දෙලක්ෂ පනස් හතර දහසක් හා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු හත් ලක්ෂ අනු එක් දහසක් පවතිනවා . නඩු ප්‍රමාදය අවම කිරීමට මේ වන විට විශාල වැඩ කොටසක් කර තිබෙනවා. 2015 වර්ෂයේ සමථ මණ්ඩල සදහා යොමු වු පැමිණිලි සංඛ්‍යාවෙන් විසදුම් ලබා දී තිබුණේ සීයයට 49 කට පමණයි. ලක්ෂයක් පමණ පැමිණිලි යොමු වුණා. 2015 වසරින් පසුව සමථ මණ්ඩල ක්‍රමය විධිමත් කිරීමට අපි කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන වටි සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි සංඛ්‍යාවෙන් සීයයට 70 ක් සදහා විසදුම් ලබා දෙනවා. සමථ මණ්ඩල සදහා පැමිණිලි යොමු කළ හැකි මුල්‍ය සීමාව රැපියල් ලක්ෂ 05 සිට 10 දක්වා වැඩි කළා. යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ඉඩම් ගැටළු විසදීම සදහා ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල එම පළාත් දෙක තුළ පිහිටුවනු ලැබුවා. එම සමථ මණ්ඩල ක්‍රමය ඉතාම සාර්ථකයි. ඒ නිසාම ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල තවත් දිස්ත්‍රික්ක 16 ක පිහිටුවනවා. වාණිජ මහාධිකරණ තුනක් ක්‍රියාත්මක වුණා. එය හතරක් දක්වා වැඩි කළා.
ඉදිරියේදී තවත් වාණිජ මහාධිකරණයක් පිහිටුවනවා. වාණිජ මහාධිකරණ සදහා පැමිණිලි යොමු කළ හැකි මුල්‍ය සීමාව ලක්ෂ 40 සිට රුපියල් ලක්ෂ 100 දක්වා වැඩි කිරීමට කටයුතු කළා. වාණිජ සමථකරණ පනත ලබන ජනවාරි මස සම්මත කරනවා. සුළු වටිනාකම් සහිත නඩු දිසා අධිකරණයට යොමුවීම හේතුවෙන් දිසා අධිකරණ සදහා යොමු වන නඩු සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.
ඒ සදහා විසදුම් ලෙස සුළු හිමිකම් අධිකරණය ස්ථාපිත කලා. ලක්ෂ 20 ට වඩා අඩු මුල්‍ය සීමාවක් සහිත නඩු සුළු හිමිකම් අධිකරණයට යොමු කළ හැකියි. අපරාධ නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදය අවම කිරීමට ලෝකයේ දියුණු රටවල භාවිතා වන Plea Bargain ක්‍රමය හදැන්වා දෙනවා.
අදාළ පනත මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එම ක්‍රමය තුළින් අපරාධ නඩු සදහා දඩුවම් නියම කිරීමේදී විනිසුරුවරයා නීතිඥයින් ඇතුළු දෙපාර්ශවයම සාකච්ඡා කර එකගතාවයට පැමිණ දඩුවම් ලබාදීම කරනු ලබන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
බන්ධනාගාර තදබදය බරපතල ගැටළුවක් බවට පත් වෙලා. බන්ධනාගාර තුළ ඉඩකඩ පවතින්නේ දහතුන් දහසකට පමණයි . නමුත් විසි හත් දහසක් බන්ධනාගාරවල ඉන්නවා. තුන් දහසක් පමණ අඩු කිරීමට හැකි වුණා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබෙන සාම්පල සදහා වාර්තා ලබාදීමේ ප්‍රමාදයක් පසුගිය මාස කිහිපය තුළ තිබුණා. නිලධාරීගේ පුරප්පාඩු ඒ සදහා හේතු වුණා. මෙම වසරේ මේ වන විට කාලය තුළ එම දෙපාර්තමේන්තුවට ලැබුණු සාම්පල අතුරින් මාස තුනකට වඩා වැඩි කාලයක් ගතවු සාම්පල 5505 ක් හා මාස හයකට වඩා වැඩි කාලයක් ගතවු සාම්පල 2011 ත් පැවතුනා. මේ වන විට අදාළ වාර්තා ලබාදීම කඩිනම් කර තිබෙනවා. මේ වසරේ නොවැම්බර් 08 වැනිදා වන විට හෙරොයින් සම්බන්ධ සාම්පක 7351 ක් පොලිසි මගින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණා. ඉන් සාම්පල 790 ක කිසිදු මත් ද්‍රව්‍යයක් නොමැති බවට තහවුරු වුණා. ඉන් 790 ක් සාම්පල වැල්ලම්පිටිය පොලීසියෙන් ලැබී තිබුණා. මෙම තත්වය බරපතල ගැටළුවක් ලෙස සදහන් කළ යුතුයි. මේ පිළිබදව පොලිසිය විසින් විශේෂ චක්‍රලේඛයක් පොලිස් නිලධාරීන් සදහා නිකුත් කළා. එහෙත් ව්‍යාජ සාම්පල් යොමු කිරීම අඩු වෙලා නැහැ. අල්ලා ගනු ලබන මත් ද්‍රව්‍ය නැවත වෙළදපොලට පැමිණිම සම්බන්ධයෙන් ප්‍රශ්නයත් තිබෙනවා. එම තත්වය වැළැක්වීමට නීති සකස් කර තිබෙනවා. ඒ අනුව අත් අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍යවලින් පරීක්ෂණ සදහා අවශ්‍ය සාම්පල තබා ගෙන ඉතිරි ප්‍රමාණය විනාශ කිරීමට පියවර ගන්නවා. මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිමේ වැඩ පිළිවෙළ යටතේ පොලොන්නරුව සේනපුර හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ 1100 ක් පුනරුත්ථාපනය වෙනවා. අතුරුදහන් වු තැනැත්තන් සදහා කාර්යාලයට පැමිණිලි දා හතර දහසක් ලැබී තිබුණා. පසුගිය වසරේ මුල් කාලය වන විට පැමිණිලි 62 ක් විමර්ශනය කර තිබුණා. එහෙත් මේ වන විට පැමිණිලි 4795 ක් විමර්ශනය කළා. ලබන වසර අවසාන වන විට සියලු පැමිණිලි සම්බන්ධ විමර්ශන අවසන් කරන බව ද අමාත්‍යතුමා පැවසීය.
අද බොහෝ අය ආර්ථිකය ගැන කථා කරනවා. ආර්ථික විනාශය සම්බන්ධව නඩු තීන්දු ලබා දී තිබෙනවා. අපේ ආර්ථිකය විනාශ වු සියලු කරුණු එහි නැහැ. තිස් වසරක් පුරා ප්‍රභාකරන් සහ ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා දෙකකදී අර්ථිකය විනාශ වන පරිදි කටයුතු කළා.
විශේෂයෙන් මහ බැංකුව මේ ආර්ථිකය විනාශයට වග කිව යුතුයි. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති කරන අවස්ථාවේ මම විරුද්ධ වුණා. විශේෂයෙන් ක්ෂද්‍ර මුල්‍ය ආයතන බරපතල පිළිකාවක් බවට පත් වෙලා. ඒවාට නීතියක් නැහැ. සමහර සමාගම් මහ බැංකුවේ ලියාපදිංචි නැහැ.ක්ෂද්‍ර මුල්‍ය ආයතන පාලනය කරන්න වෙනම ආයතනයක් ඇති කළ යුතුයි.
මහ බැංකුවට ක්ෂද්‍ර මුල්‍ය ආයතන පාලනය කරන්න බැහැ. ඒ සදහා නව නීතියක් සම්පාදනය කරන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
මාතර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනි අවි දෙකක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බැවින් පොලීසියට නීතිමය වශයෙන් කටයුතු කළ හැකි බවයි.
එක්ස්‍රප්‍රස් පර්ල් නැවෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් නඩු පැවරීම පිලිබදව මාධ්‍යවේදියෙකු අමාත්‍යතුමා වෙත යොමු කළ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
එක්ස්‍රප්‍රස් පර්ල් නැවෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් සිංගප්පුරු මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. එම නඩුව ලබන වසරේ ජනවාරි 27 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිතයි. ඒ සම්බන්ධව අතුරු ගෙවීම් කිහිපයක් ලැබී තිබෙනවා. අපේ රටට වු පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6400 ක වන්දි මුදලක් අදාළ නඩුව මගින් ඉල්ලා තිබෙනවා. මේ වන විට සමුද්‍රිය පාරිසරික ආරක්ෂණ අධිකාරීය,ධීවර ප්‍රජාවට වු හානිය වෙනුවෙන් වන්දි , හමුදාවලට , වරාය අධිකාරියට, වෙළද හා නාවික ලේකම් කාර්යාලයට අතුරු වන්දි මුදල් ලැබී තිබෙන බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න