අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිද වැටීමත් හේතු සාධක වුණා. – අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

නීතිය පිළිබදව මහ ජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2023 ජාතික නීති සතිය සමාරම්භක උත්සවය ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය මහතාගේ සහ ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12, උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී (28) අද පෙරවරුවේ පැවැත්විණි.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිබදව සාමාන්‍ය ජනතාවට තිබු වැරදි මතය වෙනස් කිරීම සදහා හිටපු විනිසුරු සී.ජේ.වීරමන්ත්‍රි මැතිතුමා විසින් 2006 වසරේදී මේ ජාතික නීති සතිය සංකල්පය ලෝකයට හදුන්වා දෙනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ නීතියේ ආධිපත්‍යය මගින් ජනතාව බලාපොරාත්තු වන අරමුණු ඉටු කර ගැනීම සදහා නීතිය පිළිබදව වු දැනුම ජනතාවට අවශ්‍යයි. මේ වන විට නීති ආධාර කොමිෂන් සභාව විසින් අඩු ආදායම්ලාභි ජනතාවට නොමිළේ නීතිමය සේවාවන් ලබාදීම සදහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඊට යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනය වල සහයෝගය ලබාදී තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීම සදහා ද කටයුතු කර තිබෙනවා. ඒ සදහා ද ජාත්‍යන්තර ආයතනවල සහයෝගය ලැබී තිබෙනවා. පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිද වැටීමත් හේතු සාධක වුණා. ආර්ථක අර්බුදයෙන් අත් මිදෙමින් ඇති අවස්ථාවක සිටින ජනතාවට මෙවැනි වැඩ සටහන් පැවැත්වීම අතිශයින් වැදගත් වෙනවා. ජාතික නීති සතිය තුළින් සිදු කරනු ලබන සේවාවන් වර්තමානයට අතිශයින් වැදගත් වෙනවා. විශේෂයෙන් මහ ජනතාවට නීතිය පිළිබදව වු අවබෝධය ලබා දීමට නීතිඥ ප්‍රජාව විසින් කරනු ලබන මෙම සේවාව සාර්ථකව සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ සහ රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ කෞශල්‍ය නවරත්න, එහි ලේකම් නීතිඥ, ඉසුරු බාලපටබැදී, UNDP ආයතනයේ ශ්‍රී ලංකා නේවාසික නියොජිත අෂුෂා කුබෝටා යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනයන්හි සහයෝගය ඇතිව 2023 ජාතික නීති සතිය වැඩ සටහන සංවිධානය කර ඇති අතර, බස්නාහිර පළාත තුළ සිටින ජනතාවට නීතිය පිළිබදව අවබෝධය ලබා ගැනීම, උපදෙස් ලබා දීම සදහා වු නීති සායන අද (28) සහ හෙට (29) දෙදින තුළ පැවැත්වෙයි. සැප්තැම්බර් 25 වැනි දින සිට ඔක්තෝම්බර් 01 වැනි දින දක්වා දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ජනතාවට නීතිය පිළිබදව අවබෝධය ලබා ගැනීම, උපදෙස් ලබා දීම සදහා වු නීති සායන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නීතිඥ වෘත්තිය පිළිබදව සාමාන්‍ය ජනතාවට තිබු මතය වෙනස් කිරීම අරමුණු කරමින් හිටපු විනිසුරු සී.ජේ.වීරමන්ත්‍රි මහතා විසින් ජාතික නීති සතිය වැඩ සටහන ලොවට හදුන්වා දී ඇත.
ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, , 2023 – ජාතික නීති සතිය කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ, යු.ආර්. ද සිල්වා යන මහත්ම මහත්මීන් ගරු විනිසුරුවරුන්, යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙ‌ෆ් හා UNDP ආයතනයන්හි නිලධාරීන්, නීතිඥයින්, පාසල් සිසුන්, මහ ජනතාව ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උත්සව අවස්ථාවට එක්ව සිටියහ.
නීතිය පිළිබදව දැනුවත් කිරීම හා රාජ්‍ය ආයතන මගින් මහ ජනතාවට සේවාවන් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිෂන් සභාව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් දෙපාර්තමේන්තුව, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ආයතන විසින් ප්‍රදර්ශන කුටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න