විසඳුම් නැති ප්‍රශ්න ගණනාවක් මේ වන විට ලංකාව තුළ පැලපැදියම් වෙලා තියෙනවා.
මේ සඳහා කරුණු අප්‍රමාණව තියෙනවා.
මේ වන විට චැනල් 4 සිද්ධිය අරඹයා විවිධ කරුණු සමාජ සංවාදයට ලක්වෙලා තියෙනවා.
2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට ජනතාව තැතිගන්වන සිද්ධියක් සිදුවෙලා හමාරයි.
ඒ චැනල් 4 නාලිකාව තුළින් එළිදැක්වූ වැඩසටහනක් මගින්.
එම වීඩියෝව තුළ පාදක වන්නේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට මේ වන විට පැනගොස් දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් ඉන්න පිල්ලේයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානාගේ අදහස්.
ඊට අමතරව අනන්‍යාතාවය හෙළි කිරීමට අකමැති තවත් පාර්ශ්වයන් ද ඒ සඳහා තොරතුරු ලබාදීල තියෙනවා.
මෙතනදී මේ තත්ත්වය තුළ ජනමාධ්‍ය මගින් ජනතාව මේ වැඩසටහන බලනවා, සංවාද කරනවා.
මෙවැනි සිද්ධීන් පසුගිය කාලයේදීත් සිදුවුණා.
නමුත් මේ සිද්ධීන්වල හරය සමාජගත වෙලා ඒ තුළින් නෛතික ක්‍රියාදායමයන් සිදු නොවන පරිසරයක් අප රට තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඊට සාධක වන්නේ මොකක්ද?
පැහැදිලිවම සංවිචාරණීය සමාජයක් අප තුළ අප සමාජය තුළ සමාජගත නොවීමයි.
ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික පරිවර්ථනාත්මක කියවීමක් සඳහා සංවිචාරණිය සමාජයක් ගොඩනැගෙන්න අවශ්‍යයි.
එවැනි තත්ත්වයක් නැති පරිසරය හමුවේ චැනල් 4 නාලිකාව මීට පෙර ආන්දෝලානාත්මව ඇති කළ සිද්ධීන්ද නිකම්ම යටපත් වෙලා ගිය අවස්ථා තියෙනවා.
යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ක්ලීන් පීස් වාර්තා වැඩසටහන ඔබට මතක ඇති.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙළිදරව්ව විකාශනය වුණේ දිස් පැචර්ස් නැමති වාර්තා වැඩසටහන් මාලාවට අයත් එක් වැඩසටහනක් ලෙසයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව මෙම ආන්දෝලානාත්මක වැඩසටහන විකාශනය වූයේ සැප්තැම්බර් 05 වැනිදා බි්‍රතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11ට පමණ.
පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී වූනේ සුරේන් සාලි සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හය දෙනකු අතර හමුවක් පැවැත්වීම යැයි මේ වැඩසටහන තුළ ඇති අන්තර්ගතයයි.
අසාත් මවුලානා චැලෙන් 4 නැලිකාවේ මේ වැඩසටහන සමග එක් වෙමින් විවිධ චෝදනා නගා තියෙනවා.
වැඩසටහන විකාශනය කිරීමට පෙර එහි පළමු විනාඩි 5 ඇතුළත පූර්ව ප්‍රචාරක වීඩියෝවක් චැනල් 4 නාලිකාව ප්‍රසිද්ධ කර තිබුණා.
එය ආන්දෝලනාත්මකව තුඩු දිය යුතු තත්ත්වයක් බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.
ත්‍රස්තවාදීන් හා බුද්ධි ප්‍රධානීයා අතර හමුව තමන් විසින් සංවිධානය කරනූ ලැබූ බව අසාද් මවුලානා පවසා තියෙනවා.
එහෙම නම් ඔහුත් එහි හවුල්කරුවෙක්.
පැවති ජනාධිපතිවරණයෙදී අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයට පත්වීම සඳහා රට තුළ අනපේක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම බව මේ වැඩසටහනේ පෙළගැහෙන නිමිත්තතයි.
එහෙම නැත්නම් දේශපාලන අවලම්කම් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීමේ හරයයි කියල කිව්වොත් වඩා නිවැරදියි.
තමන් එම හමුව සංවිධානය කරනු ලැබුවේ පිල්ලෙයාන්ගේ උපදෙස් පරිදි බව මවුලානා වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
පිල්ලයාන් යනු කවුද?
ත්‍රස්තවාදී මිනීමරු කොටි සංවිධානයේ සාමාජිකයෙක් වශයෙන් සිටියදී කරුණා අම්මාන් සමග ක්‍රියා කළ පුද්ගලයෙක්.
අද ඔහු කොහෙද ඉන්නේ.
උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව ඔහු නියෝජනය කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්න කළ බව එම වීඩියෝ පටයට ඇතුළත් වෙලා තියෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරලා තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ සැණකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරින්ට මාරුවිම් ලැබුණු බව ප්‍රකාශ කෙරෙනවා මේ වැඩසටහන තුළින්.
නමුත් එවැන්නක් සිදු කළ නොවන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
ඒ නිසා විමර්ශනය සිදු කළ නිලධාරින්ට මාරුවීම් ලැබුණ නිසා පාස්කු ප්‍රහාර සම්බන්ධ විමර්ශන කඩාකප්පල් වූ බව මේ චැනල් 4 වීඩියෝව තුළින් වඩාත් පැහැදිලිව තහවුරු කරල තියෙනවා.
අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති පුද්ගලයින්ද මේ වැඩසටහනට අදහස් දක්වල තියෙනවා.
මේ අදහස් අනන්‍යතාවය පැහැදිලිව ඉදිරිපත් කරන්න අකමැති පුද්ගලයාගේ අදහස් දැක්වීම අඳුරේ සිදුවන්නක් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සාලි මහතා එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තියෙනවා.
2019 වසරේදී ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ඔහු ඉන්දියාවේ සිටි බව කියා තිබෙනවා.
නමුත් එය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරන හිටපු හමුදා නායක සරත් පොන්සේකා එය ප්‍රතික්ෂේප කරන්නේ එයට තවත් සාධක එකතු කරමින්.
ත්‍රස්තවාදීන් සමග හමුව සිදුවූවායි කියන කාලයේ ඔහු මැලේසියාවේ සිටි බව ප්‍රකාශ කළත්, සරත් පොන්සේකා කියන්නේ පවතින ආණ්ඩුවේ පෙර පැවති ආණ්ඩුවේ සබැඳියාව මත අදාළ පාස්පෝට් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඔහුට තිබෙන බව.
2018 ජනවාරි මාසයේ සිට පාස්කු ප්‍රහාරය සිදුවන දිනය දක්වා ආරක්ෂක සේවයට සම්බන්ධව කටයුතු නොකළ බවත් මේ නිලධාරියා සුරේෂ් සාලේ පවසා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඬුවම් පැනවීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ඒකාබද්ධ ප්‍රකාශයකින් කියා තිබෙනවා.
ආණ්ඩුවෙන් එවැනි ඉල්ලීමක් කෙරුණත් ඒවා බොහෝ විට සැලසුම් සහගත ප්‍රකාශ වෙන්න පුළුවන්.
මේ තත්ත්වයන් දිගු වෙමින් ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් ක්‍රියාත්මක වන්නේ කොහොමද?
සංවිචාරණීය සමාජයක් උදෙසා ලාංකික සමාජය හැඩ ගැසී නැති පරිසරයක් හමුවේ එවැනි ප්‍රවනතාවයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කිරීම අද දවසේ ඉතාම වැදගත් කරුණක්.
සාර්ව මට්ටමෙන් පැවතිය යුතු රාජ්‍යයක් එසේ නොවී බංකොලොත් රටක් පාලනය කරන තත්ත්වයක් දක්වා දිගු වන්නේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගී නැති ලාංකික සමාජය තුළයි.
ආණ්ඩුවක් තෝරාගැනීම එහෙම නැත්නම් ඒ පිළිබඳව ඊට අදාළ නිරීක්ෂණ ක්‍රියාවලිය සහ ආණ්ඩුවක් වෙනස් කිරීමේ හැකියාව සංවිචාරණීය සමාජයක් තුළ ඇති ප්‍රධාන ගුණාංග අතර එක් පැත්තක් පමණයි.
මැතිවරණ ක්‍රියාවලදී බොහෝ විට ලංකාවේ සමාජය සංවිචාරණීය සමාජයක් නොවන බව පැහැදිලිවන සත්‍යයක්.
ඒ නිසා ජනතාවගේ උසස් ප්‍රතිපත්ති සැකසීම සහ ඒවා ඵලදායී ලෙස ක්‍රියාකිරීමට ආණ්ඩුවකට බලපෑම් කිරීමේ හැකියාව ලාංකික සමාජයට මේ නිසා අහිමි වෙලා තියෙනවා.
ඒ නිසා ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයට ලංකාවේ සමාජය තල්ලු‍ වෙමින් තියෙනවා.
විසඳුම් නැති ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තියෙන්නේ ඒ නිසයි.
උද්ගත වෙලා තියෙන සමාජ ආර්ථික අර්බුදය ක්‍රමානුකූලව ගෙවී ගිය වසර කීපය තුළ සීග්‍රයෙන් වැඩෙන්නට වෙලා තියෙනවා.
රටේ ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර හා ඉන්ධන හා fඖෂධ හිග වීමෙන් ඇති වූ එම අර්බුදය රටේ සුළු පිරිසකට පමණක් නොවේ සැලකිය යුතු සමස්ත රට තුළටම කාන්දු වුණා.
ඉතා ධනවත් හා වරප්‍රසාද ලාභී සුළු පිරිස හැරුණුකොට සමාජයේ අන් සියලු‍ දෙනාටම මේ විසඳුම් නැති සමාජ රටාව බලපාල තියෙනවා.
සමාජ ස්ථිර වශයෙන් ගත් කළ මේ ආර්ථික අර්බුදයේ පීඩනය ප්‍රබල ලෙස බලපා තිබෙනවා.
හේතුව සංවිචාරණීය සමාජයක් සඳහා මූලික අඩිතාලමක් හෝ ඒ සඳහා න්‍යායික හෝ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් මැදිහත් නොවීම.
ඒ නිසා සංවිචාරණීය සමාජයක් සඳහා මැදිහත්කරුවන් වඩාත්ම සිදු කළ යුත්තේ කුමක්ද?
ලංකාවේ සමාජ ආරක්ෂණ ක්‍රමය ඇතුළත දුප්පතුන් විදියට හඳුනාගත් පිරිසට ඔවුන්ගේ කුසලතාවයන් සමාජ හැකියාවන් මතු කරගැනීම සඳහා අවශ්‍ය සමාජ පෙළඹවීම හා ප්‍රඥාව ලබාදීමයි.
අස්වැසුම වැනි වැඩසටහන් තුළින් තවදුරටත් සිදුවන්නේ කුමක්ද?
යැපුම් ආර්ථිකය තවදුරටත් දිගු කරගෙන ඒ තුළින් ඡන්ද අපේක්ෂිත පිරිසක් රට තුළ වර්ධනය වීම පමණයි.
ඒ නිසා පීඩාවට පත්ව තිබෙන ජනතාවට සහන ලබාදිය යුතු බව පැහැදිලියි.
නමුත් දිගින් දිගටම මතුවන මතුවිය හැකි අභියෝගයන්වලට ජනතාව පැහැදිලි ලෙස සංයමයෙන් යුතුව මුහුණ දිය යුතු සමාජ වටපිටාවක් ගොඩනැංවීමට නම් සංවිචාරණීය සමාජයක් සමාජය තුළ බිහිකරගත යුතුයි.
මෙවැනි පරිසරයක් හමුවේ තවදුරටත් චැනල් 4 සිද්ධිය කුණු කාණු දිගේ දියවී යෑමේ පසුබිම පැහැදිලිව පෙනෙන සුළුයි.
මීට පෙරත් එවැනි සමාජ විරෝධී ක්‍රියාවන් කොතෙකුත් රටේ දේශපාලන අධිකාරින්ගෙන් සිදු වුණත් ඒවා කිසිවක් නෛතික ක්‍රියාදාමය තුළ ඵලදායි සමාජ ක්‍රියාකාරිත්වයකට යොමුවෙලා නැහැ.
පාස්කු ප්‍රහාරයේ චූදිතයන් නිතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඬුවම් පැමිණවීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා අවශ්‍ය මගපෙන්වීම කළ යුත්තේ මේ රටේ බුද්ධිමත් ප්‍රජාව විසින්.
නමුත් ඒ බුද්ධිමත් එහෙම නැත්නම් විද්වත් යැයි සැලකෙන බහුතරයක් සිය වගකීම කාර්යභාරය මගහැර අතහැර ඉන්නා සමාජ වටපිටාවක් දක්නට ලැබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරින්ට චෝදනා එල්ල වන අවස්ථා අප්‍රමාණයි.
ඒ අනුව වගකීම පැහැර හැරපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවමට එහෙම නැත්නම් මූල්‍යමය ගෙවීමකටත් මේ වන විටත් යටත් වෙලා තියෙනවා.
කොහොම හරිම ලංකාවේ අනන්‍යතාවය යම් විදියකට දියකර හැරෙන සමාජ පරිසරයක්ද මේ පාස්කු ප්‍රහාරය හමුවේ දිගුවෙමින් තිබෙන බව අමතක කළ යුතු නොවේ.
ඊට අනුබල දෙන සමාජ පරිසරයක් අසාද් මවුලානාගේ ප්‍රකාශ මගින් දියත් වෙමින් තිබෙන බවත් පැහැදිලියි.
ඒ අනුව රටේ අනන්‍යතාවය, රටේ ස්ථාවරත්වය සඳහා ක්‍රියා කිරීම පවතින රජයේ වගකීමක්.
නමුත් පවතින රජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිට තිබෙන සමාජ ලැදියාවන් හා දේශපාලන ලැදියාවන් හා ඒ තුළින් ගොඩනැගී තිබෙන ඥාතිත්වය මත මේ මතු වී තිබෙන චෝදනාවලට අදාළ පාර්ශ්වවලට අදාළ ක්‍රියාකාරකම් මනාව ඉටුවේද යන ගැටලු‍ව පැහැදිලිව මතු වී තිබෙන තත්ත්වයක්.
පසුගිය අගෝස්තු 15 දා මේ වීඩියෝ එළිදැක්වීමට සැලසුම් කර තිබුණා.
රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ විසින් චැනල් 4 නාලිකාවට නීතිඥවරුන් මාර්ගයෙන් කළ දැනුම් දීමක් අනුව අදාළ වීඩියෝව එදින විකාශනය කිරීමට අත්හිටවනු ලැබුණා.
තම නම යොදාගෙන අදාළ වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තියෙනවා.
පාස්කු ප්‍රහාර කාලසීමාවේදී තමන් ලංකාවේ රාජකාරි නොකළ බවත් තහවුරු කරන ලිපි ලේඛන ද සුරේෂ් සලේ පැහැදිලි කර තිබෙනවා.
එම පැහැදිලි කිරීමෙන් අනතුරුව වැඩසටහන විකාශය කිරීමට පෙර මේ චැනල් 4 නාලිකාවේ යථෝක්ත අදාළ වැඩසටහන සංස්කරණය වුණු බවත් පැහැදිලියි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ මේ වැඩසටහනේ වැඩි කාලයක් ලබාදීල තිබුණා.
අසාද් මවුලානාද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණා.
පිල්ලෙයාන් කණ්ඩායම සමග එක්ව ත්‍රීපෝලි ප්ලැටුන් නමැති සන්නද්ධ කල්ලිය බිහි කිරීමට එවකට පැවති රජය කටයුතු කළ බව මේ වැඩසටහන තුළින් ප්‍රකාශ වෙනවා.
ඒ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කුමක්ද?
ඒ දිනවල ත්‍රිපෝලි ප්ලැටුන් පිළිබඳව බොහෝ විට සමාජ මත ප්‍රචාරය වෙමින් තිබුණා.
ජන විඥානය තුළ ඒ පිළිබඳව අවබෝධයක් තිබුණා.
මේ නිසා මේ රටේ මේ ත්‍රීපෝලි ප්ලැටුන් තුළ සේවය කළ භටයින් සිය හෘද සාක්ෂියට එකගව ජනමාධ්‍යයට කරුණු ඉදිරිපත් කිරීමට මැදිහත් වන්නේ නම් සැබෑ ලාංකිකයින් වශයෙන් අපිට දකින්න පුළුවන්.
ඒ අනුව මේ යථා තත්ත්වය මැනවින් හඳුනාගැනීමට පසුබිමක් ඇතිවන බවත් පැහැදිලියි.
ත්‍රීපෝලි ප්ලැටුන් පිළිබඳව මේ රටේ හමුදා සේවයේ යෙදී සිටි අයගේ සත්‍ය ප්‍රකාශන සොයා ජනමාධ්‍යය යම්කිසි ගවේශනශීලී මෙහෙවරක යෙදිය යුතු කාලය එළැඹිලා තියෙනවා.
මාධ්‍ය මර්දනයට හා ප්‍රතිවාදීන් මර්දනයට මේ ත්‍රිපෝලි ප්ලැටුන් යොදාගත් බවත් ඒ දිනවල ප්‍රකාශ වූ සත්‍යයක්.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සඳහා ජානියා ප්‍රැන්සිස් සුදුවෑන් සිද්ධිය අතරතුර රටින් පලාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා සුදු කොඩි නඩුවේ සාක්ෂි කාරිනියක වූ මාධ්‍යවේදිනියක වූ ෆෙඩ්‍රිකා ජෑන්ස් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග හා නම් සඳහන් නොකළ වෙනත් පාර්ශ්වයන් මේ වැඩසටහනට යොදාගෙන තිබෙනවා.
ඊට අමතරව කොළඹ අගරදගුරු මැල්කන් කාදිනල් හිමිපාණන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්භිකා සත්ගුණානාදන් මහත්මියත්, හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි සරත් කෝන්ගහගේ මහත්මියගේ ප්‍රකාශත් මේ වීඩියෝ වැඩසටහනට ඇතුළත් වෙනවා.
නමුත් මේ කුමන ප්‍රකාශ ගැන පැහැදිලි නිර්වචනයක් ලබාදිය හැක්කේ ඒ සම්බන්ධව ක්‍රියා කළ ගෝඨාභය රාජපක්ෂ සමග හා මහින්ද රාජපක්ෂ සමග ලැදියාවන් සමග ගනුදෙනු කළ පාර්ශ්වවලටයි.
එම පාර්ශවවල සැබෑ ජාතික හිතෛශී භාවයක් ලාංකික බවක් තියෙනවා නම් ඔවුන් ඒ සඳහා මැදිහත් විය යුතුයි.
නමුත් එවැනි මැදිහත් වීමක් වීම සඳහා මේ සමාජය සංවිඡාරණීය සමාජයක් වී නොමැති නිසා තත්ත්වය බරපතලයි.
ගැටලු‍ව ඇත්තේ එතැනයි.
ආර්ථික හා සමාජීය අන්තර් ක්‍රියාකාරිත්වයක් පුරවැසියන් තුළ ගෞරවනීය ලෙස වැඩෙන්නේ සංවිචාරණීය සමාජයක් තුළයි.
නමුත් දැන් තියෙන්නේ කුමක්ද?
අධිකරණයට, පොලිසියට සම්බන්ධව මහජනතාවගේ සැක සංකා මතු කරන තත්ත්වයක්.
ඒ නිසා ඒ තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුවක් තෝරාගැනීමට නිරීක්ෂණ ක්‍රියාවලියක් සඳහා ජනතාව පෙළඹවීමට ක්‍රියා කරන යහපත් පුරවැසියන්ගෙන් සමන්විත සංවිචාරණීය සමාජයක් උදෙසා මේ රටේ රැඩිකල් දේශපාලන පක්ෂයක් මෙතෙක් මැදිහත්ව ක්‍රියා කර නැති පරිසරය හමුවේ අපට අත්විඳීමට සිදුවී තිබෙන්නේ ඉච්ඡාභංගත්වයක් පමණයි.
ආණ්ඩුවක් වෙනස් කිරීම, වගවීම ක්‍රියාවලිය දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ වර්ධනය කරගැනීමට ප්‍රචණ්ඩත්වයකින් තොර සමාජයක් බිහි කරගැනීමට නම් සංවිචාරණ සමාජයක අවශ්‍යතාවය බෙහෙවින් කැපී පෙනෙන දෙයක්.
උසස් ප්‍රමිතීන් සැකසීම හා ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පෙළඹීමට හැකියාව ඇත්තේ සංවිචාරණීය සමාජයක් තුළින්.
ඒ නිසා ගුණාත්මක භාවයක් නැති ආණ්ඩු දිගින් දිගටම රට තුළ මාරු වෙමින් කුහකත්වය දූෂණය වංචාව ගොනුකරගත් ආණ්ඩු යටතේ ජනතාව ඉදිරියටත් පාලනය වන පරිසරයක් දැකීමට හැකියාව තිබෙන අය තවදුරටත් නිහඬව සිටිය යුත්තේ ඇයි?
නීතියේ ආධිපත්‍යය, අන්තර්සමාජීය ක්‍රියාකාරිත්වය උදෙසා පුරවැසියන්ගේ ගෞරුත්වය තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නම් පැහැදිලිවම සංවිචාරණීය සමාජයක් උදෙසා ක්‍රියා කළ යුතු හැගීමක් තියෙන අය වහාම ඉදිරිපත් විය යුතු කාලය එළැඹ තිබෙනවා.
මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු.
ඉදිරිය මේ සඳහා දිශාගත වීම සඳහා ඔබේ අදහස් දක්වන්න.
සත්‍ය වෙනුවෙන් පෙනී නොසිටින සමාජයක් බිහි වී ඇත්තේ සංවිචාරණීය ගුණාංග ලාංකික සමාජයට අහිමි වී ඇති නිසයි.
ලංකාවේ බොරුව තවදුරටත් නඩුත්තු වෙමින් දිව යන සමාජ සංස්කෘතියක් දකින්නට ලැබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සිදු වුණා යැයි කියන ප්‍රචාරක මාවත ඔස්සේ ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ හැසිරෙන බවක් පේනවා.
මේ සම්බන්ධව පැහැදිලි පොදු නිර්වචන හා මතවාදයන් සමාජ විද්‍යාත්මකව සංවාදය වන බවක් දකින්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසාම මේ සමාජගත කිරීම් තුළ බොහෝ විට ජාතික ආරක්ෂාව අනතුරක හෙළන සුලුයි.
අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ ආයතන හෝ රාජ්‍ය හෝ අන්තර්ජාතික සංවිධාන මැදිහත්වන ඉල්ලීම් හා එවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වසර 75ක් පුරා මේ රට පාලනය කළ හා පාලනය කරන පාදඩ දේශාලන වපසරිය නිසයි.
කොහොම වෙතත් පක්ෂ දේශපාලනයෙන් තොරව රටක් විදියට සියලුම දේශපාලන පක්ෂවලට මීට එරෙහි වෙන්න බැරි පරිසරයක් ද තිබෙනවා.
හේතුව රටේ පෞද්ගලික අභිලාෂයන් හා පොදු අරමුණින් තොරව සියලුම දේශපාලන පක්ෂ හැසිරෙන නිසයි.
මේ නිසා ඇතැම් විට චැනල් 4 සිද්ධිය බොරුව සමාජගත කරන කැඩපතක් වෙන්නත් පුලුවන්.
කොහොම වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ චැනල් 4 සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්න අදහස් කර තිබෙන බව විවිධ පාර්ශ්වවලින් ප්‍රචාරය වෙමින් තිබෙනවා.
ජිනීවා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවලදී මෙම පාස්කු ප්‍රහාරය පමණක් නොව විවිධ වද හිංසා පිළිබඳ තොරතුරු උතුරු නැගෙනහිර හා දකුණේ සිදුවූ දේශපාලන ප්‍රචණ්ඩත්වයන් සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා.
ඒ සඳහා විවිධ පරීක්ෂණ ඇතැම් විට තිබිලත් තියෙනවා.
නමුත් ඒවා සියල්ලක් නිවැරදි සත්‍ය ගවේශනය කර පරීක්ෂණ සිදුවූවා දැයි සැක සහිතයි.
ඒ නිසා ඒවාට වැය කරපු මුදල් ද කුණු කානු දිගේ දියවී ගියා.
චැනල් 4 සිද්ධිය අරඹයා ද විවිධ සමීක්ෂණ පරීක්ෂණ කාරක සභා අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙන්න අනාගතයේදී සිදුවෙන්න පුළුවන්.
නමුත් අවසානයේ බොරදියේ මාළු බාන්න හදන ආන්ඩුවල අත්දැකීම් ඇති අපට හුදෙක්ම ඒ තත්ත්වයත් මුසාවක් විය නොහැකිද?
එවැනි තත්ත්වයන්ගෙන් මිදීමට නම් අප වහාම කල යුත්තේ දේශපාලන උගුල්වලට පැටලිලා ඉන්න ප්‍රජාව ඉන් මුදවාගැනීම සඳහා සංවිචාරණීය සමාජයක් මතු කරගැනීම හා සමාජගත කිරීම නොවේද?

ඔබගේ අදහස් වට්ස්අප් තුළින් ූ 94 71 052 9937 අංකයට යොමු කරන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න