• ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අභියෝගවලට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීන රජය ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නා.
• උපරිමාධිකරණ සංකීරණයේ ප්‍රතිසංස්කරණය කටයුතු සදහා චීනය යුවාන් මිලියන 240 ක මුදලක් ලබා දී තිබෙනවා.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේද පැවසීය.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අභියෝගවලට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීන රජය ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි. ශ්‍රි ලංකාව සහ චීනය අතර ද්වී පාර්ශ්වික සබදතාවය ඉතා දිගු කාලින මෙන්ම එය සාර්ථක සබදතාවයක් බව කිව යුතුයි. 1960 වසරේ දී එවකට මෙරට අග්‍රාමාත්‍යතුමිය වු ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ පාලන කාලය තුළ දෙරට අතර සබදතාවයන් තවදුරටත් තහවුරු කරමින් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. පසුව 1988 වසරේදී චීන රජයේ තාක්ෂණික හා මුල්‍යමය ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණය මෙරටට ලබා දුන්නා. වසර 30 කට පසුව එය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් චීනය යුවාන් මිලියන 240 ක්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ මුදලක් ලබා දී තිබෙනවා. අවශ්‍ය සෑම අවස්ථාවකම චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ, ශ්‍රී ලංකා රජයේ ස්තුතිය චීනයට පළ කරනවා. මෙරට අධිකරණයේ ස්වාධිනත්වය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා උපරිමාධිකරණය ප්‍රතිසංස්කරණය කරමින් ලබා දුන් සහයෝගය අගය කළ යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.
ගරු අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන් හා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මෙහිදී අදහස් පළ කළ අතර, ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ගරු අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ චීන තානාපති කාර්යාලයේ හා උපරිමාධිකරණ සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් මීට වසර 30කට පෙර එනම් 1988 වසරේදී පෙර චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස ඉදි කර ශ්‍රී ලංකා රජයට භාර දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී තිබේ.
අදියර දෙකක් යටතේ මාස 32 ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.
2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබේ.ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරන ලදී. 2012 වසරේ උපරිමාධිකරණ සංකීර්ණයේ වහල, ආරක්ෂක කුටි, ජලනල පද්ධතිය, විදුලි පද්ධතිය ඇතුළු බාහිර අලුත් වැඩියා කටයුතු සිදු කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න