රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ රනිල් 50″ යනු ශ්‍රී ලංකාවේ ගෘන්නෝමයක්ද? (Grundnorm) යන්න පිළිබඳවයි. මෙම උත්සවයට සහභාගී වී සිටි පිරිසෙන් වැඩි දෙනෙකු නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් අයයි. එක් අතකින් එතැන ගෘන්නෝමයක අදහස ඇති කරන සාකච්චා ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පරිශීලනයේදී පෙනී යයි. ගෝඨා ගෝ හෝම්” අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවීමට තරම් විශාල ජනතා සහභාගීත්වයක් තිබුණද ගෘන්නෝම නීති මූලධර්මය ක්‍රියාත්මක කිරීමට දැනුවත් කමක් ඒ ජනතාවට සහ අරගලකරුවන්ට නොතිබුණි. පෙර නීතිය අභිබවා ජනතාව විසින් නීති සම්පාදනය කිරීමේ අදහස ගෘන්නෝම නීති මූලධර්මයේ දැක්වේ. මෙය ජර්මන් ජාතික නීති දාර්ශනිකයෙකු වූ හාන්ස් කෙල්සන්ගේ (1881-1973) අදහසකි. “රනිල් 50” ට සහභාගී වූ නීති විශාරදයන් විවිධ දේශපාලන පක්ෂවල නීති කටයුතු වලට දයක වී ඇති බව නෛතික කරුණක් පමණක් නොවේ. ඔවුන් දේශපාලන පක්ෂ බෙදා වෙන්කර දේශපාලකයන්ව මෙහෙයවන්නේ නැතැයි ඉන් නොකියවෙයි. ඒ අනුව විවිධ දේශපාලන පක්ෂ මෙහෙයවීමට ඔවුන්ට ඇති හැකියාව දේශපාලනිකව සුවිශේෂී වෙයි. “රනිල් 50” උත්සවය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට බලය ලැබූ රාජකීය නවරගහලේ ව්‍යවස්ථා සම්පාදක කමිටුව මෙන් දේශපාලන පක්ෂ නායකයන් බහුතරයකගේ සහභාගිත්වය පෙන්වයි. එයට අමතරව “රනිල් 50” නීති විශාරදයන්ගේත්, අගවිනිසුරුවරයාගේත්, දේශපාලන පක්ෂ නායකයන්ගේත් සහභාගීත්වය තිබී ඇති බව මාධ්‍යයේ පළවී ඇත. (පළමු ගෘන්නෝමය -1970 මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව ) “රනිල් 50” යනු සෘජු නෛතික ක්‍රියාකාරකමක් ලෙස පැවති දේශපාලන ක්‍රියාකාරකමකි. එහි දේශපාලනික නෛතික කටයුතු සාකච්චා කර ඇත.(2වන ගෘන්නෝමය?) රටේ ඒකීයත්වය, එක්සත් වීම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන දේශපාලනයේ සංවාදයක් ඇති වී තිබියදී ජයන්ත ජයසූරිය අගවිනිසුරු එවැනි විවාදාත්මක ස්ථානයකට සහභාගී වීම අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමේදී හිතකර නොවුණත් ගෘන්නෝම නීති මූලධර්මය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සාකච්ඡාවකට අගවිනිසුරුවරයා සහභාගී වීම වරදක් නොවේ. “රනිල් 50” කටයුතු මූලිකව පැවැත්වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි භාෂාව රටේ ඇත්ත රාජ්‍ය භාෂාවය,රටේ ඇත්ත නීති පැනවීමේ භාෂාවය,රටේ ඇත්ත අධිකරණ භාෂාවය. ඒ අනුව ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය බව ඉවත් කිරීමට මෙන්ම ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව වීමට වැඩි ඉඩක් ඇත්තේ “රනිල් 50” ට සහභාගී වූ අයගේ භාෂාව ඉංග්‍රීසි භාෂාව වීම හේතුවෙනි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පිළිබඳව සමාජයේ සහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරමින් තිබියදී සහ ජනතාව අතර විවාදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට සූදානම් අවස්ථාවක “රනිල් 50” උත්සවය ප්‍රසිද්ධියට පත්වීම රටේ නීතියට, ප්‍රජාතන්ත්‍රවාදයට සෘජුව බලපායි. බැද්දේගම සිළි‍‍ඳුලාට, පුංචි මැණිකෙලාට ඉංග්‍රීසි ඉගෙනීම මිස නීතිය ඉගෙනීමට යාන්ත්‍රණයක් නැත. ඒ හේතුවෙන් ආරචිචිලාගේ, ප්‍රනාන්දු මුදලාලිලාගේ සේවකයන් ලෙස ක්‍රියා කිරීමට තවදුරටත් බැද්දේගම සිළි‍‍ඳුලාට, පුංචි මැණිකෙලාට සිදුවී ඇත. නිදහස ලැබී වසර 74ක් ගෙවී ගියද ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු ලබා දී ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරයි. “ගෝඨා ගෝ හෝම්” අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවා ඉන් අනතුරුව අරගලයේ ක්‍රියාධරයෙකු වූ වසන්ත මුදලිගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඇතුලු කිහිප දෙනෙක් රැදවීමේ නියෝග මත භාරයට ගෙන තිබියදී නැවතත් ජනතාව අතර ගැටුම් ඇතිවන ආකාරයට කිසිවෙකු ක්‍රියා කරන්නේ නම් එය නීතියේ පාලනයට, යහපාලනයට සුදුසු නොවේ. ඒ බව “රනිල් 50” ට සහභාගී වූ නීති විශාරදයන් මැදිහත්ව විමසිය යුතුය. “රනිල් 50” ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමය වන හෙයින් එයට සහභාගී වූ අගවිනිසුරු ඇතුලු නීති විශාරදයන්ගේ අනාගත භාවිතාවන් ගැන වැඩි අවධානයක් නිදහස් චින්තකයන් විසින් යෙදීය යුතුය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න