ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගෙන් ජනතාව විසින් ජනතාව සඳහා තිබෙන පාලන ක්‍රමයක්.
ප්‍රජාතන්ත්‍රවාදයක ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන නියෝජිතයන් විසින් ජනතාවගේ යහපත සඳහා රට පාලනය කෙරෙනවා.
රටක ජනතාව තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට රජයක් පිහිටුවා ගන්නවා.
ඒ අනුව රජය ජනතාවගේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට නිර්මාණය කරන ලද යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි.
මේ යන්ත්‍රය ජනතාවට අවශ්‍ය දෑ ඉටු කරන්න ඉන්නේ අමාත්‍යංශ සහ විවිධ රාජ්‍ය ආයතන.
ඒ රාජ්‍ය ආයතන ආගමික මුවාවෙන් අවිචාර රාජ්‍ය සේවයක් සිදුකරගෙන පසුගිය 75 වසර පුරාම දකින්නට ලැබෙනවා.
මෙහිදී බොහෝ විට බෞද්ධාගම යොදා ගන්නවා.
ඊට හේතු සාධකයක් තියෙනවා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 පරිච්ඡේදයේ 9 වන ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.
එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ පළමුවෙන අනු ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම්වලට අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.
මේ වාක්‍ය ප්‍රයෝජනයට ගනිමින් අයුතු ලෙස ඉතාමත්ම උපක්‍රමශීලී ලෙස මිනිසුන් ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ආගමික මුහුණුවරින් පාදඩ දේශපාලනඥයින් හා පාදඩ රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරින් ක්‍රියාකරගෙන යන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාවට අනුව මෙහෙම සඳහන් වෙනවා.
සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය සාක්ෂියේ නිදහසට හා ආගමික නිදහසට හිමිකම් ඇත්තේය යනුවෙන් සඳහන් වෙනවා.
නමුත් අද සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනත් පැතිවලින් ජනතාව අයුතු ලෙස සූරාකන රාජ්‍ය සංස්කෘතියක්.
ඒ බව තවදුරටත් සනාථ කරන්නේ නම් මේ විදියට කියන්න පුළුවන්.
විධායකය රජයක පාලන අධිකාරියයි.
විධායකයේ අරමුණ තමා වගකිව යුතු පරාසය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි.
ඒවා ඒ හදන සද්භාවයෙන් යුතු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි.
ව්‍යවස්ථාදායකය සම්පාදනය කරන නීති ක්‍රියාවට නැංවීම හා පරිපාලනය කරන රජයේ අදාළ අංශ විධායකයයි.
ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කිරීමත් විධායකය සුපරික්ෂණයත් සිදු කළ යුතුයි.
නමුත් එම සුපරික්ෂණය ලංකාවේ විධායකය මනාව ඉටු කනවාද යන්න ගැටලු සහගත තත්ත්වයක් පවතිනවා.
ඇතැම් අවස්ථාවල විධායකය විවිධ රාජ්‍ය ආයතනවලට කඩා පැන දේශපාලන වාසිය සඳහා ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන විධානයන් දෙන අවස්ථා හිටපු ජනාධිපතිවරුන්ගෙන් හා වර්තමාන ජනාධිපතිවරයාගෙන් දකින්නට ලැබෙනවා.
ඇතැම් අවස්ථාවල ආයතනවල රැස්වීම්වලදී පරිපාලන නිලධාරින්ට අයුතු විධානයන් කිරීම සහ අයුතු බලපෑම් කිරීම සිදුවන බව ඇතැම් ප්‍රවෘත්ති මාධ්‍යවලින් වාර්තා වෙනවා.
විධායකය හා ව්‍යවස්ථාදායක රජයේ දේශපාලනික ආයතන දෙකක් බව අප දන්නවා.
මෙම ආයතනවල කටයුතු සම්පාදනය කරන නීති දේශපාලන සාධකවලින් මෙහෙයවනු ලබනවා.
නමුත් අධිකරණය දේශපාලනයෙන් තොර වන අතර ව්‍යවස්ථාදායකයෙන් පනවන නීති විවරණය කිරීමත් උද්ගත වන ආරවුල් නිරාකරණය කිරීමත් නීති මූලධර්ම සංවර්ධනය කිරීමත් සිදු කළ යුතුයි.
දැන් අප මේ මූලික අපේ තේමාව වන්නේ ආගමික මුහුණුවරින් රාජ්‍ය අංශයේ නිලධාරින්ගෙන් අයුතු මුදල් ගසාකෑමකට යොමු වී සිටින රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය විසින් අදාළ ආයතන ප්‍රධානින් වෙත නිකුත් කර තිබෙන නිවේදනයක් අනුව මේ පහත සඳහන් විග්‍රහයට ප්‍රධාන නිමිත්ත වන්නේ.
එය මෙසේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
ජනාධිපතිවරයා ඇතුළු රජයටත් සියලුම රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් ශ්‍රී ලංකාවටත් සෙත් පතා සංවිධානය කරන ලද සර්වරාත්‍රික පරිත්‍රාන ධර්මදේශනාවක් ජුනි මස 02 දා පැවැත්වීමට අදාළ අමාත්‍යංශ කටයුතු යොදා තිබුණා.
ඊට පසු දින ජුනි 03 දා මහ සංඝරත්නය සඳහා දානමය පුණ්‍යකර්මයක් කිරීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා.
මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 7කට අධික බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය සහ ඊට අදාළ අමාත්‍යංශයේ අතිරේක ලේකම් අභ්‍යන්තර පාලන එම්. එල්. ගම්මන්පිලගේ අත්සනින් යුතුව අදාළ අමාත්‍යංශවල ප්‍රධානීන් වෙත යවන ලද ලිපියකින් කරුණු අනාවරණය වෙනවා.
එම ලිපියේ රාජකාරි අංකය ද සඳහන් වෙනවා.
සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරින්ගෙන් රුපියල් 5000ක මුදලක් ද පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් 2500ක් ද අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරින්ගෙන් රුපියල් 1000ක මුදලක් ද සෙසු නිලධාරින්ගේ කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් 100ක් හෝ ඊට වැඩි මුදලක් එකතු කිරීමට අදාළ ලේඛනය අනුව විධානය කර තිබුණා.
මෙය ලංකාවේ පැහැදිලිවම නීතිය උල්ලංඝනය කිරීමක්.
ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීමක්.
මේ ආයතන සංග්‍රහය නිකුත් කර තිබෙන්නෙත් අදාළ අමාත්‍යංශවලට අදාළ හිටපු ලේකම්වරයෙක්.
මේ තත්ත්වය ලංකාවේ පාසල් පද්ධතිය සහ වෙනත් සෙසු ආයතන දක්වා දිව යන අගතිකාරී ක්‍රියාවක්.
සෑම මසකම පොහොය දවස ඉලක්ක කරගෙන එහෙමත් නැත්නම් ඇසල උත්සවය ඉලක්ක කර ගෙන එහෙමත් නැත්නම් පොසොන් උත්සවය ඉලක්ක කරගෙන ආදී වශයෙන් වෙසක් උත්සවය නිමිති කරගෙන විවිධ ව්‍යාපෘති මහජනතාවට හා රාජ්‍ය අංශයේ සේවකයන්ට බරක් වන පරිදි ක්‍රියා කරන නිලධාරි අධිකාරි ධුරාවලියක් දකින්නට ලැබෙනවා.
මෙය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය මගින් සිදුකිරීම තමයි වඩාත්ම ඛේදනීය තත්ත්වය.
මේ අවිචාර රාජ්‍ය සේවයේ සැබෑ මුහුණුවර ප්‍රදර්ශනය වන එක් තවත් අවස්ථාවක්.
මෙය ජනතාවගේ රීරිමාංශය සූරා කෑමක්.
මෙය වෙනත් රාජ්‍ය අංශවල සිදුවන්නේ තවත් ක්‍රම විදියට.
අපි උදාහරණයක් විදියට ගතහොත් පාසල් පද්ධතියේ ආගමික මුහුණුවරින් සිදු කරන ක්‍රියාවක් සඳහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යවන් හරහා දෙමාපියන්ට විධායනයක් කරනවා.
ඒ විධානය පංති නියෝජිතයන් මගින් සිදු කරන්නේ.
එවිට විවිධ දානමය පිංකම් හා සැරසිලි සඳහා මහජනතාවගෙන් මුදල් එකතු කරනවා.
මේ මුදල් එකතු කිරීම ඉතාම අයුතු සහගත ලෙස සිදුවන්නක්.
ලංකාවේ ප්‍රධාන ජාතික පාසලේ සිට ගම් නියම්ගම් දක්වා මේ සූරාකෑම අයුතු අවිචාර රාජ්‍ය සේවය ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඒ නිසා අපි තවදුරටත් මේ පිළිබඳව විවරණය කර ගැනීම ඉතාම වැදගත්.
මෙයට ප්‍රධාන සාධකය විදියට යොදා ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) යටතේ ඇති භාෂණය රැස්වීමේ සමාගමේ රැකියාවේ සහ යාම් ඊම් ආදියේ නිදහස සඳහා ඇති සඳහන උපයෝගි කර ගන්නවා.
එහි 14(ඊ) යටතේ මෙහෙම සඳහන් වෙනවා.
එකලාව හෝ අන් අය හා සමග ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලික තම ආගම ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන් පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදයස.
මේ වාක්‍ය යොදාගෙන ඉතාම නින්දිත ලෙස මහජන සූරාකෑමේ සමාජ පරිසරයක් රට පුරා සෑම වසරක් පුරා දියත් වෙමින් තියෙනවා.
ව්‍යවස්ථාදායක සම්පාදනය කරන නීති අධිකරණය විවරණය කර එක් එක් නීති කෘත්‍යවලදී ඊට අදාළ කරගන්නා අවස්ථා තිබෙනවා.
මෙවැනි අවස්ථාවන් සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන පුරවැසියන්ගේ ඉතාම ශෝචනීය තත්ත්වයක් දකින්නට ලැබෙන්නෙ.
ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වීමේ අවකාශය ඉතාම වැදගත්.
නමුත් මෙවැනි ක්‍රියාවන්වලට රාජ්‍ය අංශයේ හැසිරීම හා භාවිතය අධිකරණයට ඉදිරියට ගෙන යෑමේ භූමිකාව ඇත්තේ සමස්ත පුරවැසියන්ට.
අධිකරණය සඳහා යම් නඩු නිමිත්තක් අරගෙන යෑමේ හැකියාව පුරවැසියකට ඇති මූල්‍ය ගැටලු‍ව නිසා එය පසුපසට ගිහිල්ල තියෙනවා.
නමුත් මෙවැනි අවස්ථා සඳහා වගකිව යුතු සමාජ සංවිධාන මැදිහත්ව ක්‍රියා කරන්නේ නම් ඉතාම වැදගත්.
ඒ නිසා රටේ වැදගත් ආයතනවල භූමිකාව ඒවා සිදු කරන කාර්යයන් දෙස බැලීමෙන් ඍජුව අපට තේරුම්ගත හැකි දෙයක් තියෙනවා.
එනම් නීතියෙන් යම් දේවල් හිමිකම් ලබාදී තිබෙනවා නම් ඒ හිමිකම අයුතු ලෙස ඊට මුවාවී යැපෙන රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට උරුම වී තිබීමයි.
පුදුමයකට මෙන් විධායකය ව්‍යවස්ථාදායක හා අධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වග නොකියන තත්ත්වයක් ද තියෙනවා.
ඒ නිසා ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් නොසලකන කාරණා සම්බන්ධයෙන් පමණක් විධායක ඇතැම් අවස්ථාවලදී වග කියනවා.
මේ අනුව ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කාර්යයන් රාජ්‍ය සතු බලයෙන් ඉවත් කළ විට ඉතිරිවන සියලු‍ කාර්යයන් විධායකය සිදු කරන බව අපට පැහැදිලියි.
ඒ අනුව මෙවැනි අක්‍රමිකතා රට පුරා ව්‍යාප්ත වන විට විධායකය ඊට වගකිව යුතුයි.
මෙයින් පෙන්නුම් කරන්නේ නිශ්චිතවම සීමාවකින් තොරව ජනතාව පෙළගැසිය යුතු නොවේද?
පුළුල් බලතල විධායකයට හිමි බව 78 ව්‍යවස්ථාව අනුව අප දන්නා දෙයක්.
විධායකය ඉටු නොකරන කාර්යන් අනුව යමින් විධායකය යනු කුමක්දැයි අර්ථදැක්වීම අසතුටුදායකයි.
විධායකය ගැන දැනගැනීමට නම් එය වගකියන්නේ කුමක් සඳහාද කියා අප පුරවැසියන් විදියට බලන්න ඕනෑ.
විධායකයේ භූමිකාව දෙයාකාරයකින් දකින්න පුළුවන්.
විධායකය රට කරවීමේදී ප්‍රමුඛ ආයතනයක්.
මෙයින් අදහස් කරන්නේ විධායකය විවිධාකාර කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.
උදාහරණයක් ලෙස වරදකරුවන් සිරගත කිරීම, ආගමන විගමන කටයුතු පාලනය කිරීම, රටේ අවශ්‍ය බලශක්ති සැපයීම, වෙනත් රටවල් ජාත්‍යන්තර ආයතන සමග සබඳතා පැවැත්වීම, බදු අය කිරීම, සුබසාධන කටයුතු පමණක් නොව යුද වැදීම ද සඳහා තීරණ ගැනීමේ හැකියාව විධායකයට තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් තුළ මේ සිදුවන ක්‍රියාවන් විධායකයේ අනුදැනුම මත සිදුවනවාද යන්න ඇති වී තිබෙන තවත් ගැටලු‍වක්.
ඇතැම් ආගමික, සංස්කෘතික මුහුණුවරින් පවත්වන සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන විවිධ වැඩසටහන්වලට විධායකය එකතු වන අවස්ථා දකින්නට ලැබෙනවා.
එය හුදෙක් ආගමික බහුතරයක් සිටින බෞද්ධ ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීම සඳහා විධායකය ගන්නා උත්සාහයක් බව පසුගිය ඉතිහාසය පුරා අත්දැකීමෙන් අපට පෙනෙන කරුණක්.
දැන් අපි මෙන්න මෙහෙම බලමු.
මේ අදාළ ඉහත සඳහන් ලිපිය ජනාධිපතිවරයා ඇතුළු රජයටත් සියලු‍ම සේවකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ටත් සෙත් පතා යන ලේබලය යටතේ තමයි අමාත්‍යංශයේ අතිරේක ලේකම් අභ්‍යන්තර පාලන එම්. එල්. ගම්මන්පිලගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියේ සඳහන් වන්නේ.
ඒ අනුව පෙනී යන්නේ කුමක්ද?
උතුම් පිංකමක් මුවාවෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබ හා ඔබ ආයතනයේ සියලු‍ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවායි අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ බෞද්ධාගම අයුතු ලෙස විකිණීමේ සංකල්පයක් අන්තර්ගතවයි.
අතිරේක ලේකම් පාලන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අතිරේක ලේකම් පාර්ලිමේන්තු කටයුතු අතිරේක ලේකම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්වරයාට, රාජ්‍ය භාෂා කොමිසමේ සභාපතිවරයාට, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණුව ආයතනයේ සභාපතිවරයාට, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ සභාපතිවරයාට සහ බහුකාර් සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අදාළ ලිපි යවා තිබෙනවා.
මේ අනුව රටේ ඉතාමත්ම අවාසනාත්මක තත්ත්වයක් දකින්න ලැබෙනවා.
මේ පිරිත් පිංකම සඳහා මුදල් මැයි මස 10 වනදාට පෙර රාජ්‍ය පරිපාලන අංශයේ අභ්‍යන්තර පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශයේ ලේකම් අභ්‍යන්තර පාලන විසින් ආයතන ප්‍රධානීන්ට යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
ජනතාව ආර්ථික ගැටලු‍ රැසකට මුහුණ දී සිටියදී මෙලෙස රජයේ සේවකයින්ගෙන් මුදල් එකතු කර පිරිත් පිංකම් පවත්වන්නේ විධායකයේ අවශ්‍යතාවයකටදැයි ප්‍රශ්නයක් මතු වෙනවා.
එසේත් නැත්නම් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ ඒ ආයතන යටතේ පවතින සේවකයින්ගේ අවශ්‍යතාවය සහ ඉල්ලීමක් තිබෙනවාද යන්න තවත් ගැටලු‍වක්.
මේ පිළිබඳව පැහැදිලිව කිව යුතු කරුණු ගණනාවක් තිබෙනවා.
එදිනෙදා රජයේ බලපෑම් කොතෙක් ජනතාවට අයුතු ලෙස බලපානවාද යන්න ඉතාම ගැටලු‍ සහගත විදියට උග්‍ර වෙමින් තිබෙනවා.
ජනතාවට නොදැනෙන ලෙස අදහාගත හැකි ලෙස සූරා කෑමට ප්‍රජාව ලක්වෙමින් තියෙනවා.
රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට ගිය විට බදු ගෙවන්න සිදුවෙනවා.
මහාමාර්ගයේදී ඔබ වේග සීමාව කැඩුවාද කියා වේග සීමා බලන කැමරාවලින් පරීක්ෂා කරනවා.
ඔබට මාර්ග නීති අනිවාර්යයෙන් පිළිපැදීමට සිදුවෙනවා.
මූලික කරුණ නම් නූතන රජයක් අති විශාල සංකීර්ණ සූරාකෑම් ක්‍රියාදාමයකට ජනතාව ලක් කරමින් මහජන ජීවිත තදබල ලෙස සූරාකෑමට බලපෑමට මේ වන විට ලක් කරමින් තිබෙනවා.
දිනෙන් දින වැඩිවන සංකීර්ණතාවය නූතන ජීවිතයේ අන්‍යෝන්‍ය බැඳීම් මෙන්ම රජය ගැන ජනතාවගේ අපේක්ෂාවන් නිසා රජයේ ව්‍යාපෘති ද මේ වන විට බහා තබා තිබෙනවා.
ජනතාවට යමක් කරවාගැනීමට සිදුවුවහොත් ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමටත් විධායකය දෙසට හැරිය යුතුයි.
කසල බැහැර කිරීම හා මදුරු උවදුර පෙන්වා දෙන්නේ නම් නගර සභාවල, ප්‍රාදේශීය සභාවල, මහ නගර සභාවල මේ වන විට ඒ කාරියවත් හරියට සිදුවන්නේ නැහැ.
හේතුව මේ වන විට ඒවායේ පරිපාලනය කොමසාරිස්වරු අතට නිලධාරින් අතට පත්වීමයි.
රටේ රාජ්‍ය පරිපාලනය ස්වදේශ කටයුතු පරිපාලන කරන අමාත්‍යංශ රටේ රාජ්‍ය පරිපාලනයේ මූලධර්මය ලෙස ගන්න පුළුවන්.
එවැනි ආයතනවල රජයේ නිලධාරින් අපහසුතාවට පත්වන මෙවැනි ලේඛනවලින් පෙන්වන්නේ කුමක්ද?
රජයේ අදක්ෂතාවය හා අකාර්යක්ෂමතාවය හා පවතින රජයට කඩේ යාමේ සංස්කෘතියක් නොවේද?
මේ නිසා බලවත් විධායකය මීට වගකිව යුතු තත්ත්වයක් තිබෙන බව තේරුම්ගන්න අවශ්‍යයි.
ආර්ථිකය මෙහෙයවීම, ත්‍රස්තවාදීන්ගෙන් රට රැකගැනීම සඳහා යැයි කියමින් ප්‍රතිත්‍රස්තවාදී පනතක් ඉදිරිපත් කරන වකවානුවක ඉන් ජනතාව මුලාකරගෙන ජනතාව පීඩනයට ලක් කරන ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කරන අද්‍යයතන රජය තුළින් ඉදිරියට බලාපොරොත්තු විය හැක්කේ තවදුරටත් අවිචාර පෝෂිත රාජ්‍ය සේවයක් නොවේද?
අධිකරණයේ භූමිකාව එය ක්‍රියාකාරන ආකාරයත් ඊට ඇති සීමාවනුත් ජනතාව තේරුම්ගන්න අවශ්‍ය වෙලා තියෙනවා.
අධිකරණය ඉදිරියට පමණුවන ඕනෑම නීති කෘත්‍යයක් විනිශ්චයකාරවරුන්ට විනිශ්චය කරන්න පුළුවන්.
නමුත් එම දීර්ඝ ලෙස බලපෑම් සිදුවන දේශපාලන වටපිටාවක් තුළ අධිකරණයකට ස්වාධීන වන නැගී ඉන්න පුළුවන්ද කියන ගැටලු‍වක්ද දැනට පැන නැගී තිබෙනවා.
අධිකරණයට ඇසිය හැක්කේ අධිකරණය ඉදිරියට පමණුවන නඩු පමණයි.
නිදසුනක් ගතහොත් පීඩනයට පත් යම්කිසි පාර්වශයක් රාජ්‍ය ආයතනයකට විරුද්ධ පැමිණිල්ලක් කළොත් පමණක් අධිකරණයට රජයේ නීති විරෝධී තීරණයක් නිර්බල කරන්න පුළුවන්.
පුවත්පතක තිබූ පමණින් රජයේ නීති විරෝධී ක්‍රියාවන් විනිශ්චයකාරවරුන්ට විභාග කර අවසන් කරන්න බැහැ.
ඒ වගේම ව්‍යවස්ථාකයටද සියල්ලක් කිරීමේ නීති සම්පාදනය මුල පිරීමේ සත්‍යයක් නැහැ.
සාමුහිකව සිතා නව නීති සම්පාදනය කිරීමට හැකිවන සේ ව්‍යවස්ථාදායකය තවදුරටත් ප්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.
කෙටුම්පත් පනත් සම්මත කිරීමටත් සුපරික්ෂණයටත් විවිධ සීමා තිබෙනවා.
කෙටුම්පත් පනතක් නීතියක් වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි.
එහෙත් විධායකය නිති සම්පාදනය කරන පරිසරයක පාර්ලිමේන්තුව නීති ඒ සඳහා මැදිහත් වීමේ අවකාශය කොතැනද යන ප්‍රශ්නයකුත් දැන් දැන් පැන නැගී තිබෙනවා.
රජයේ ඇති ප්‍රබලම ආයතනය විධායකයයි.
විධායකයට නීති සම්පාදනය සඳහා මුල පිරීම ප්‍රහාරම්භක කටයුතු මතුවන අවස්ථා තිබෙනවා.
රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී ඒවා සංවර්ධනය කර සැලසුම් කරන්නේ බොහෝ විට විධායකය විය යුතුයි.
නමුත් අනපේක්ෂිත ලෙස විවිධ නීති කෘත්‍යයන් සමාජගත වන අයුතු සමාජ සංස්කෘතියක් හමුවේ අවිචාර රාජ්‍ය සේවයක ධුරාවලිය දිගු වෙමින් තිබෙනවා.
මේ පිළිබඳව සැබෑ විග්‍රහයන් විවරණයන් වෙනත් වෙනත් මුහුණුවරින් න්‍යායත්මකව අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත් මේ වෙසක් සමයේ රජයේ විවිධ ආයතන පිංකම් මුවාවෙන් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ මුදල් ගසා කෑම විවිධ මුහුණුවරින් සිදු කරති.
රාජ්‍ය ආයතනයකට යන පොදු පුරවැසියාට අසලවල් පිංකමට කියා මුදල් ඉල්ලා සිටීම විධිමත්ව හා අවිධිමත්ව සිදු වෙනවා.
විධිමත්ව සිදු වන්නේ ඉහත ලිපිය හොඳම උදාහරණයක්.
අවිධිමත්ව සිදුවනවා යැයි පවසනවා නම් එය බෞද්ධ සංගමය, සුබසාධක සංගමය, ක්‍රීඩා සංගමය ආදී අදාළ රාජ්‍ය ආයතනයේ තිබෙන විවිධ සංගම් මේ සඳහා යොදා ගන්නවා.
රාජ්‍ය පරිපාලන ඇතුළු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා යටතේ ඇති අමාත්‍යංශවලින් එවැනි ගසාකෑම මේ වන විට වලක්වා තිබෙනවා.
හේතුව මේ වන විට මාධ්‍යවලින් ප්‍රචාරය වීම නිසා.
නමුත් වෙනත් රාජ්‍ය ආයතන අදාළ සුබසාධන හා බෞද්ධ සංගම් මගින් පෙර ගසාකෑම සුපුරුදු මේ ගසාකෑම බහුලව සිදු කරමින් ඉන්නවා.
ජනතාවට මේ පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.
පාලකයන් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම බෞද්ධයන් නිසා ඉතාම පහසුවී තිබෙනවා.
මේ කාගේ කාගේ කෙරුවාවල් නිසා අවසානයේ පොදු ප්‍රජාව ආර්ථික වශයෙන් අගතියට පත් වී තිබෙනවා.
නූපන් දරුවන් පවා අද ලෝකයට ණය කාරයන් වී සිටින්නේ පාදඩ දේශපාලනය හා පාදඩ රාජ්‍ය සේවය නිසා.
නමුත් උකුණු හිසක තරම් වත් මොළයක් නැති අපේ පාදඩ දේශපාලනය හා අවමන් සහගත රාජ්‍ය සේවය තවදුරටත් බෞද්ධ කම විකුණමින් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය, ශ්‍රී සම්බුද්ධ තෙමඟුල වසර 75ක් පුරා විකිණීම සිදු වුණා.
මෙවරත් සිදු වෙනවා. ඉදිරියටත් සිදුවෙයි.
හේතුව ජනතාව ඒ පිළිබඳ මනා අවබෝධයක් නැති කම.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න