යුරෝපයට පළා යාමේ අදහසින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත  පිරිසක් (24) දින පස්වරුවේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.            

මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් – 30 ත් අතර පසුවන , බංගලදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන අතර , ඔවුන් බංගලදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට , ඉකුත් පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහිදී සංචාරක වීසා ( On Arrivel Visa ) ලබා ගෙන මෙරටට   පැමිණ සිටි අය වූහ.             

එසේම මොවුන් අත් අඩංගුවට පත් වන අවස්ථාව වන විට , ඔවුන්ට මෙරට රැදී සිටීමට හිමි වී තිබූ වීසා කාළය ද ඉක්මවා ගොස් තිබුණි.            

මොවුන් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී , ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර , යුරෝපය වෙත පිවිසීමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.       

මෙසේ අත් අඩංගුවට ගත් බංගලදේශ ජාතිකයන් පිරිස , යළි ආපසු එරටට පිටුවහල් කරන තෙක් වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට , ශ්‍රී ලංකා ආගමන විගමන පනත යටතේ , එම දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැවරී ඇති බලතල අනුව , එම නිලධාරීන්  පියවර ගෙන තිබේ .

(05) රටේ එලෝ පොල් පෙනෙන පොල් කතාවක් !

මෙරට පොල් නිෂ්පාදනය මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි පොල්ගෙඩි මිලියන 167.8  දක්වා සියයට 32.3කින් සැලකිය යුතු  අයුරින් පහළගොස්  ඇති බැව්  ශ්‍රි ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන  දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඉකුත් වර්ෂයේ (2024)   ජනවාරි මාසයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 248කි. එයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන  80.2කින් අඩුවි  ඇත.

මහබැංකුවේ සංඛ්‍යාන  දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති දත්ත වලට අනුව 2023 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3,168.1කි. 2024 වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2790.1 දක්වා සියයට 11.9කින්  අඩුවි ඇත.සිල්ලර මිල ගණන්වලට අනුව පසුගිය වර්ෂයේ දි  ( 2024) පොල් ගෙඩියක් රුපියල් 120කට අලෙවි වු අතර මේ වනවිට පොල්ගෙඩියක මිල රුපියල් 220 දක්වා වැඩිවි ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න