රුපියල් ලක්ෂ 33 000 ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශයට ගොඩනැගිල්ලක්!
රුපියල් ලක්ෂ 33 000 ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන තිබේ.
2016 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පසුව ඉදිකිරීම් නවතා දමා තිබූ මහල් 16 කින් සමන්විත කොළඹ කාසල් වීදියේ ඉදිකෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
ඒ අනුව දැනට විශාල කුලී මුදල් ප්‍රමාණයක් ගෙවමින් බාහිර ස්ථානවල ස්ථාපිත කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඉදිරි මාස 04 ක කාලය තුළ මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම සදහා සියලු ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස පසුගිය දා එම පරිශ්‍රය නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබී ය.
මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, මෙම වර්ෂය අවසන් වනවිට මහල් 07 ක ඉදිකිරීම් වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට ද සැලසුම් කර ඇත.
වර්ග අඩි 375,000 (තුන්ලක්ෂ හැත්තපන් දහස) කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 13,500 ක් පමණ වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුව සදහා රුපියල් මිලියන 300 ක මුදලක් ඉදිකිරීම් සදහා වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මෙම වර්ෂය තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සදහා තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් වෙන් කිරීමට ද රජය අපේක්ෂා කරයි.
ඒ අනුව ලක්ෂ එකහමාරක් වන මෙරට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අදාළ සේවා සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා ද නුදුරේ දී ම එකම ස්ථානයක පිහිටි මෙම ගොඩනැගිල්ලේ සිට මෙහෙයවීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ මගින් දැනට විවිධ ස්ථානවල සිට සේවා සපයන සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාර්යාල එකම ගොඩනැගිලි පරිශ්‍රයකට රැගෙන ඒමට අවස්ථාව සැලසෙන අතර, ඒ මගින් දැනට කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි වෙනුවෙන් ගෙවන විශාල මුදලක් ද ප්‍රවාහන සහ අනෙකුත් සේවා සදහා වැය වන විශාල මුදලක් ද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. එමෙන් ම සේවා කටයුතු කාර්යක්ෂම කර ගැනීමට ද එමගින් අවස්ථාව සැලසෙනු ඇත.