රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩල

අද වැඩ තහනම් ලියුම මට ආවේ නෑ, ඒක යවලා තියෙන්නේ මාධ්‍ය ආයතනවලට විතරයි.

මාව වැඩ තහනම් කරලා, මාධ්‍යට ලියුම යවලා, නලින්ද බලාපොරොත්තු වෙන්නේ මාව බිය වැද්දීමටත් වඩා අනිත් වෘත්තීය සමිති බිය වැද්දීමටයි.

නලින්ද පහසුවෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්ණයක්, උද්ධච්චකම නිසා විසඳන්නේ නෑ.

ආයතන සංග්‍රහයට පිටින් යමින් 2024 මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරඟ කිරීම හේතුවෙන් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික ගමගේ මහතා විසින් ලිපියකින් ඒ මහතාට දැනුම් දී තිබේ.

2024.10.10 සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර තිබේ.

මේ අනුව ඔහුට වැටුප් ඇතුළු දීමනා කිසිවක් හිමි නො වනු ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.  

එසේම වැඩ තහනම්ව සිටින කාලය තුළ ඔහුට විදෙස් ගත වීමට ද හැකියාවක් නොමැති බවත් පදිංචි ස්ථානයේ ලිපිනයේ වෙනසක් සිදු වන්නේ නම් එය ද දැනුම් දිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා එම ලියුම මගින් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්ති වේදීන්ගේ සම්මේලනයේ සභාපති  රවි කුමුදේශ් මහතා මෙසේ පැවසීය.

සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය කරමින් සිටිනවා.

වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක් බවත් මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තිබෙන ආකාරය වැරදියි. මෙය පළිගැනීමේ සහ බිය ගැන් වීමේ වුවමනාවක් මත නිකුත් කරපු ලිපියක්.

සෞඛ්‍ය සේවාවේ බොහෝ අය මැතිවරණයට තරග කරා.

මැතිවරණය ප්‍රකාශයට පත් කරපු කාලයත් මැතිවරණයක් අතර තිබුන පරතරය ඉතා අඩු වූ නිසාත් රාජ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රියාත්මක කාලය තුළ ඇති ප්‍රමාදය හේතු වෙනුත් මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ   සෞඛ්‍ය වෘත්තිකයන් අවසර ගත් ආකාරයටම තමයි මමත් අවසර අරන් තියෙන්නේ.

එහෙම අවසරයක් දෙන්න බෑ කියලා කොහෙවත් මට කියලා නෑ. හැමෝටම අවසරය දීලා තියෙන්නේ අතරමැදි විදිහට. හැබැයි ආණ්ඩු පක්ෂයේ අයට එය එක විදිහකටත්. විපක්ෂයේ අයට වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ආණ්ඩුවේ පක්ෂයේ නොතේරිච්ච අයට නැවත රැකියාවට වාර්තා කරන්න එම අතරමැදි ස්වභාවය පාවිච්චි කරනවා. හැබැයි විපක්ෂ පක්ෂ වලින් ඉල්ලපු අයට  අවාසි වෙන විදිහට දෙබිඩි ප්‍රතිපත්තියක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ.

උදාහරණයට අර්ජුනාවන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත් වුනා.ඔහුට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැවත සෞඛ්‍ය සේවාවට එන්න’ කියනවා වගේ බලපෑමක් තමයි මේ වන විට සිදු වෙමින් පවතින්නේ.

නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවෙච්ච මා වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක කරන්න යන්නේනේ ජන්දය ඉල්ලපු නිසා යළිත් රාජ්‍ය සේවාවලට එන්න බෑ කියනවා වගේ ප්‍රතිපත්තියක්.

කෙසේ නමුත් මේ සියල්ල සිද්ධ වෙන්නේ බලපෑම් කරලා අපේ කටවල් වහන්න.  මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න