සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (26) මාතර, කිරින්ද පුහුල්වැල්ල පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විනි.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැනි මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරිනි.

කොළඹ ජාතික රෝහල, මාතර මහ රෝහල මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් පැවැති මෙම ජංගම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා හෙට්ටියාවල, කිරින්ද, පුහුල්වැල්ල ඇතුලු අවට ග්‍රාම නිළධාරී වසම්වල දහසකට අධික ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී සිටියහ.

කිරින්ද පූර්වාරාම විහාරස්ථානයත්, හක්මණ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයත් එක්ව මෙම ජංගම සායනයේ සංවිධාන කටයුතු සිදු කරන ලද අතර මෙම වැඩසටහනට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබුනි.

මෙම අවස්ථාවට කිරින්ද පුර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති භාරත දේශයේ ප්‍රධාන සංඝනායක කිරින්දේ විමලරතන නාහිමි, අනුනායක විශ්‍රාමලත් ආචාර්ය, මාතර හම්බන්තොට දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කිරින්ද සරණංකර නාහිමි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ප්‍රදේශවාසීන් විශාල ද පිරිසක් එක්ව සිටියහ.

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්

ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

සෞඛ්‍ය අමාත්‍යාංශය

· වීඩියෝ දර්ශන Wetransfer ඔස්සේ යොමු කර ඇත. – https://we.tl/t-ntbhmlCn0s

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න