ලෝකයේ දියුණු වෙන, වෙනස් වෙන, අලුත් තත්වයන් හඳුනාගනිමින් සන්නිවේදනය කළ හැකි ආකාරයට සිංහල භාෂාව පොහොසත් විය යුතුයි.
අපේ චින්තනය, සංස්කෘතිය හා සමාජය සමඟ සිංහල භාෂාව තදින් බැඳී තිබෙනවා.
සමාජයෙන් ගිලීහී තිබෙන අපේකම රැකගැනීම අපේ රජයේ අරමුණයි.
සිංහල භාෂා දින සැමරුම් උත්සවය අමතමින් අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ මාර්තු මස 02 වන දිනට යෙදෙන සිංහල භාෂා දින සැමරුම් උත්සවය වෙනුවෙන් රාජගිරිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අද ( 04) පෙරවරුවේ පැවති උත්සවය අමතමිනි.
මුනිදාස කුමාරතුංග සූරීන් අභාවප්‍රාප්ත වු දිනය පදනම් කර ගනිමින් සෑම වසරකම මාර්තු මස 02 වන දින සිංහල භාෂා දිනය සමරනු ලබයි.
සිංහල භාෂාවේ ප්‍රගමනයට උන්නතියට දායකත්වය ලබා දී මෙලොවින් සමුගත් මහා පඬිවර කුමාරතුංග මුනිදාස මැතිතුමා ඇතුළු සියලු දෙනා අනුස්මරණය කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.
සැමරුම් උත්සවය අමතමින් තවදුරටත් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සිංහල භාෂාවේ උන්නතියට විශාල වැඩ කොටසක් ඉටු කළ මුණිදාස කුමාරතුංග සූරීන්ගේ ගුණානුස්මරණ දිනය මුලික කර ගනිමින් සිංහල භාෂා දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එතුමාගේ ගැඹුරු චින්තනය, පර්යේෂණ දායකත්වය, පොතපත සිංහල භාෂාවේ අභිවෘද්ධියට කොතරම් දායකත්වයක් ලබා දුන්නාද යන්න මෙහි සිටින සියලු දෙනා දන්නවා. භාෂා ශාස්ත්‍රිය අංශයෙන් මෙන්ම සාහිත්‍යමය වශයෙනුත් ඒ මැදිහත්වීම ඉතා වටිනවා. සිංහල භාෂා දිනය සමරනු ලබන අද වැනි දවසක සිංහල භාෂාව මුහුණ දෙනු ලබන අභියෝග සහ ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු විය යුතුයි. ලෝකය ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. වෙනස් වෙනවා. ඒ අලුත් තත්වයන් හඳුනාගනිමින් සන්නිවේදනය කළ හැකි ආකාරයට සිංහල භාෂාව පොහොසත් විය යුතුයි. සිංහල භාෂාවට පවතින කැමැත්ත සමාජයෙන් දුරස්වන තත්වයක් දකින්න පුළුවන්. සිංහල භාෂාව යනු සුන්දර අර්ථ පුර්ණ භාෂාවක් බව සඳහන් කළ යුතුයි. අපේ චින්තනය, සංස්කෘතිය හා සමාජය සමඟ සිංහල භාෂාව තදින් බැඳී තිබෙනවා. මේ සභාවේ සිටින මහාචාර්යතුමන්ලා, විද්වතුන් සමඟ එක්ව සිංහල භාෂාවේ ඒ අනන්‍යතාවය සුවිශේෂී බව ආරක්ෂා කිරීම රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව සතු වගකීමක් වෙනවා.
මේ විෂය ගැන කථා කරන්න මා ප්‍රවීණයෙක් නෙවෙයි. මා හුදෙක් දේශපාලඥයෙක් පමණක් උවත් කියන්න ඕන මිනිසා නිරන්තරයෙන් වෙනස්වෙනවා, සංස්කෘතිය, ගතිපැවතුම්, අධ්‍යාපනය වගේම ගෝලීයවත් වෙනස්වෙනවා. සංස්කෘතිය කියලා කියන්නෙත් වෙනස්වෙන එකක්. අපිට සමහර අවස්ථා වල ඇහෙන්න ලැබෙනවා ‘අපි පොඩිකාලෙ වගේ නෙවෙයි දැන් ළමයි පොඩ්ඩක්වත් පිළිවෙල නැහැ’ කියලා. දෙමාපියන්ට ඒ දරුවන් ගැන තේරුම් ගන්න බැහැ කියලයි මටනම් හිතෙන්නෙ. සංස්කෘතිය කියන්නෙ එකතැන පල්වෙන එකක් නෙවෙයි ඒක කාලයත් සමඟ ලෝකය සමඟ මුහු විය යුතුයි. ඒ නිසා මම හිතනවා භාෂාව කියලා කියන්නෙ අපේ සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන අංගයක්. එහෙම නම් අපේ භාෂාවත් ඒ හා සමානව අලුත් වෙමින් ඉදිරියට යා යුතුයි.
සමාජයෙන් ගිලීහී තිබෙන සංස්කෘතික වටිනාකම, අපේකම රැක ගැනීම වර්තමාන රජයේ අරමුණයි. මෙතෙක් කාලයක් සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව වෙන් වෙන් වශයෙන් සමරනු ලැබූ සියලු උත්සවයන් එක් කරමින් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී එක් දිනයක උත්සවයක් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු, අධ්‍යාපන කටයුතු සිංහල භාෂාවෙන් ඉටු කිරීමේදී ගැලපෙන පරිදි සිංහල භාෂාවට අවශ්‍ය වචන සම්පාදනයට මෙන්ම ලෝකයේ බිහිවන නව විෂය අනුව සිංහල භාෂාව පොහොසත් කිරීමට අවශ්‍ය පදමාලා සම්පාදනයට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මැදහත්ව කටයුතු කරනවා.
2025 වසරේ සිංහල භාෂා දිනය සමරනු ලබන අවස්ථාවේ සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක මැතිතුමාට උපහාර පිදීම ඉතා වැදගත් වෙනවා. එතුමා සිංහල භාෂාවේ මෙන්ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.
සිංහල භාෂාවේ මෙන්ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදීම වෙනුවෙන් සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක මැතිතුමාට උපහාර පුද කිරීම මෙම උත්සවයට සමඟාමීව සිදු වු අතර, උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විසින් පවත්වනු ලැබීය.
පාරිභාෂික පදමාලා වෙබ් පිටුව හඳුන්වාදීම, ආකෘති පත්‍ර අන්තර්ජාලයට හඳුන්වාදීම, ජාතික භාෂා පුහුණු හා අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා ඩිප්ලෝමාව සම්පුර්ණ කළ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් පිරිනැමීම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ජාතික භාෂා ඇගයීමේ පරීක්ෂණය සමත් වු අපේක්ෂකයින් සඳහා සහතිකපත් පිරිනැමීම සහ පාසල් පුස්තකාල සඳහා පොත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විණි.
