වෛද්‍ය සේවාවේ වටිනාකම අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුවට විසඳුම් වහා ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා වහාම මැතිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍යවරයා මෙසේ ද කීය.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ ය.
අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ වුවද දැඩි කැපවිමෙන් රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍ය සේවාවේ වටිනාකම මෙවර අයවැය යෝජනා හරහා අසාධාරණ ලෙස අවතක්සේරුවට ලක් වී ඇති බව මෙරට සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතය බවද ඔහු කීය.
වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරියට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව ද අඛණ්ඩව වසරේ සෑම දිනකම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් පවත්වාගනිමින් සිදුකරන සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් අමතර රාජකාරි දීමනාවට සුවිශේෂී අගයක් සහ අනුපාතයක් ලබා දී ඇත. එය මෙවර අයවැයෙන් 50% කින් අඩු කර ඇත.
මූලික වැටුපෙන් 1/20 ක් ලෙස ලබාදුන් නිවාඩු දින/ඉරිදා දීමනාව ද, 1/30 ක් දක්වා අඩු කිරීමෙන්, එම දිනවලදී වෛද්‍යවරුන් රාජකාරියේ යෙදීම අධෛර්යමත් කර ඇත.
වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ අනන්‍ය වූ අමතර රාජකාරි දීමනාව සහ එහි අගයන් අතීතයේ සිටම නිර්ණය කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි එකඟතාවයෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නමුත් මෙවර අයවැයේදී වෛද්‍ය සේවාවේ සුවිශේෂී බව ද නොසලකා හරිමින් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් වූ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් වෛද්‍යවරුන් රජය මහජනතාව ඇතුළු පාර්ශව ගණනාවක් අවසානයේ අපහසුතාවයට පත් වී සිටින බවද ඒ මහතා පැවසීය.
සියලු පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට මූලික වූ මෙම තීරණය ගැනීමට සැබෑ හේතු සහ පසුබිම තවමත් නිවැරදිව පැහැදිලි කිරීමට වගකිවයුත්තන් සමත් වී නැති බව ද ඔහු පැවසීය.
ඉතිහාසයේ නොවූ පරිදි වෛද්‍යවරුන් රට හැර යන මොහොතක ඔවුන් රට තුළ සහ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වගකිවයුත්තන්ගේ කාර්යභාරය වුවද ඒ වෙනුවට මෙම තීරණ හරහා සිදුවී ඇත්තේ මෙරට වෛද්‍යවරුන් තම මව්බිමෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් තවත් දුරස් කිරීම බද ඒ මහතා කීය.
මෙම සියලු ගැටලුවල අවසාන ප්‍රතිඵලය වනුයේ මෙරට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අඩපණ වීම වන අතර මෙම තීරණය පිටුපස සිටින නිලධාරීන් කිහිපදෙනාගේ සැගවුණු අරමුණ වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමද යන සාධාරණ සැකය මතුවී ඇති බව ද ඔහු පුකාශ කළේය.
වෛද්‍යවරුන් සහ රජය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ද මේ තීරණය පිටුපස පවතින්නේද යන වග විමර්ශනය කළ යුතු බවද ඔහු කීය.
මෙම අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාධනීය සාකච්ඡාවන් පැවැති අතර ගැටලුව හොඳින් වටහාගනිමින් ධනාත්මක විසඳුම් ලබාදීමට ද ඔවුන් එකඟ විය.
අමතර රාජකාරි දීමනාවේ 1/80 අගයත් නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම් සඳහා 1/20 අගයත් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින් වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන වල සීමාවන් කිසිසේත් ඉක්මවා නොයන පරිදි යම් එකඟ වුණු කාලයක් සඳහා එම අගයෙන් 2/3 ක ප්‍රමාණයක් මාසිකව ගෙවීමටත්, ඉන් අනතුරුව මූල්‍ය තත්ත්වය මත පදනම්ව ඉදිරි තීරණ ගැනීමටත් යෝජනා කරන ලද බවද ඔහු කීය.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි සමස්ත වෛද්‍යවරුන් තරයේ විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.